maithribodhi
maithribodhi

අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න

maithribodhi

මහාගුරු ඥාන දර්ශනය හරහා, මොලය සහ ස්නායු පද්ධතියේ සීමාවෙන් ඔබ්බට...

2025-04-06

Maithri Buddha

 

මා මහාගුරු බව ඉතාමත් විශ්වාසයෙන් යුතුව ඔබට ප්‍රකාශ කරනවා. ඒ මන්ද යත්,  මා මේ ලෝක ධාතුව තුල සෑම මූල ධාතුවක්මද, සෑම මූලද්‍රව්‍යයක්මද, සෑම සත්ව විශේෂයක්මද, මනුෂ්‍යයා සහ මනුෂ්‍යත්වය පිළිබඳව වූ සියල්මද, සෑම අත්දැකීමක්මද, මාගේ ජීවිතයේ සෑම කාරණයක්මද ගුරු කොටගෙන, ඒ සියලුම දේ තුලින් යමක් ඉගෙන ගත් නිසාවෙන්. ඒ හරහා මම මා පිළිබඳ වූ සියල්ලම මා වෙතටම පිළිබිඹු වන ගැඹුරු අධ්‍යාත්මික පරාසය අත්දකිමි…

~මහාගුරු

 

ජීවිතය මේ මිහිතලය මත තවමත් නොලියූ පිටු සහිත පොතකට සමකරන්න පුළුවන්. සත්ව ලෝකය තුළ දුර්ලභ මනුෂ්‍යත්වය ලැබූ මොහොතේ සිට මේ ජීවිත පොත සම්පූර්ණ කිරීමට සහ එයට නමක් ලබා දීමට අවශ්‍ය හැකියාවන්, නිපුණතාවයන්, අවස්ථාවන්, පදාර්ථයන්, අත්දැකීම් සහ කාලය ඔබට ලැබෙනවා.

 

මේ අතිවිශිෂ්ඨ වූ දිගහැරුම මහාගුරු විසින් Nero-Psychology  පිළිබඳව සිදු කරන ලද අධ්‍යාත්මික සාකච්ඡාව තුළ අසන එක් මූලික ප්‍රශ්නයක් කේන්ද්‍ර කරගෙන ආරම්භ වූවක්. මහාගුරු වනාහි තමාගේ ඇතුලාන්ත බුද්ධිය පිළිබඳව වූ වසර තිහකට අධික අධ්‍යාත්මික ගවේෂණයකින් පසුව, ජීව විද්‍යාත්මක භෞතික ශරීරයද, එයින් ඔබ්බෙහි මනසද, මනස අතික්‍රමණය කර ඇතුලාන්ත බුද්ධියද, ඇතුලාන්ත බුද්ධියද අභිබවා ගිය අධ්‍යාත්මික පරාසයන්ද අවබෝධ කල අති දුර්ලභ වූ ආධ්‍යාත්මික යෙක්. මෙහිදී මහාගුරු අප සැමගෙන් අසන මූලික ප්‍රශ්නය නම් “ අපි අපේ ජීවිත පොතට දෙන නම කුමක්ද? ඒ පොතේ අපි විසින් යමක් ලියා තිබේද? අපි ඒ පොත ලිවීම ආරම්භ කර තිබේද? යන්නයි

 

මහාගුරු තමාගේ ජීවිත පොත රචනා කරන්නේ තම ඇතුලාන්ත බුද්ධිය, අවබෝධය, සහ දශක තුනක පමණ කාලයක් පුරා පරීක්ෂාවට ලක්කරමින්, ජීවිතය තුල භාවිතයට ගනිමින්, ප්‍රශ්න කරමින්, අභියෝගවලට ලක් කරමින්, සමාජය තුල සාකච්ඡාවට භාජනය කරමින් ප්‍රත්‍යක්ෂව මතුකර ගත් ප්‍රායෝගික ඥාන දර්ශනයකින්. ඒ සත්‍ය ජීවිත අත්දැකීම් තුල  ‍උකහා ගත් ඇතුලාන්ත බුද්ධිය, අවබෝධය සහ ප්‍රායෝගික ඥානයන් හරහා මහාගුරු විසින් සමාජය තුල සිදුකල සාකච්ඡාවන් තුලින් තම අධ්‍යාත්මය තුල පරිවර්තනාත්මක දියුණුවක් අත්දුටු පිරිස් මහාගුරු වටා එකතු වී සිටින අතර එවැනි පිරිස් දිනෙන් දින ඒ වටා එකතු වෙමින් පවතී.

 

මහාගුරු තම ජීවිත පොතට දෙන නාමය නම් “මහාගුරු” යන්නයි. උන් වහන්සේ මේ ලෝක ධාතුව තුල සියලු දෙය “ගුරු” කර ගෙන ඒ සියලු දෙයින් ඉගෙන ගත් බවත්, ඒ පොත කියවන කෙනාද ඇතුලුව, අන් සියලුදෙනාටද ඒ හැකියාව ලබා ගැනීමේ ක්‍රමවේදය හෙවත් “ගුරු” බවට පත්වීමේ ක්‍රමවේදය ලැබෙන බවත්, ඒ සියලුදෙනාම තමාගේද “ගුරු” වන බවත්, තමාද ඒ අයගෙන් ඉගෙන ගන්නා බවත් ඉන් පිළිබිඹු වෙනවා.

 

තොරතුරු යුගය තුල දැනුම අතිරික්තයක අතරමං වන වර්තමාන ජන ජීවිතයේ මානසික යහපැවැත්ම.

 

තොරතුරු බහුල බව සහ වේගයෙන් සිදුවන තාක්ෂණික දියුණුව වර්තමාන යුගයේ ආවේණික ලක්ෂණයන් විදියට දකින්න පුළුවන්. මානවයාගේ දියුණුව කෙසේ වෙතත්, මේ අතිරික්ත තොරතුරු ධාරිතාව දරා ගැනීමට නොහැකි වීම සහ තොරතුරු හරහා එන දැනුම නිවැරදිව කළමනාකරණය කරගැනීමේ ක්‍රමවේදයන් නොදන්නා බව නිසා, මනුෂ්‍යයා අති විශාල මානසික ගැටලු ප්‍රමාණයකින් පීඩාවට පත්ව සිටිනවා.

 

අපගේ අභ්‍යන්තර ස්නායු පරිපථ නිර්මාණය වීමේ සහ ඒවා ක්‍රියාත්මක වීමේ ආවේණික රිද්මයන් මුල් ළමාවියේදී පටන්ම සකස් වීම ආරම්භ වන අතර ඒ කෙරෙහි බලපාන සිතුවිලි සහ හැසිරීම් වලට, මුල්  ළමාවියේ සිට ලැබෙන අත්දැකීම් සහ පාරිසරික සාධක ඉතාමත් තීරණාත්මක ලෙස බලපානවා.

 

මේ ආවේණික ස්නායු පරිපථ ක්‍රියාත්මක වීමේ රටාවන්, අප එක් එක් අය විසින් තොරතුරු ඔස්සේ ක්‍රියාත්මක වන ආකාරයත්, ඒවා අර්ථ දක්වන ආකාරයත්, අප වටා ඇති පරිසරයට ප්‍රතිචාර දක්වන ආකාරයත් තීරණය කරනවා.

 

මොලය සහ ස්නායු පද්ධතියත්, මනසත් යන පූර්ණ පරාසය පෙන්වා දෙමින් මහාගුරු විසින් අපව ඇතුලාන්තයට  රැගෙන යන මේ ගවේශණාත්මක ගමන ආරම්භ වන්නේ උන්වහන්සේගේ සත්‍යය ජීවන අත්දැකීම් සහ මුලු ලෝකය තුලම ජීවත් වන මනුෂ්‍යයින් සහ මනුෂ්‍යත්වය පිළිබඳව උන්වහන්සේගේ වූ පරිපූර්ණ අවබෝධය තුලින්.


 

මහාගුරු ස්නායු මනෝවිද්‍යාව: මානසික සමබරතාවය සහ යහ පැවැත්ම සඳහා ප්‍රවේශයක්…

 

වර්තමාන තොරතුරු යුගයේ අවශ්‍යතාවයක් වන මේ අභියෝග ජයගැනීම පිණිස මහාගුරු විසින් “මහාගුරු ස්නායු මනෝවිද්‍යාව (Mahâguru Neuropsychology)” හඳුන්වා දෙනු ලබනවා.

 

ඒ හරහා අප ඇතුලාන්තයේ ස්ථාපිත වී ඇති ස්නායු පරිපථ සහ ඒවා ක්‍රියාත්මක වීමේ ආවේණික රිද්මයන් ළමාවියේ සිට සකස් වීම ආරම්භ වන ආකාරයත්, ඒවා මගින් අපගේ සිතුවිලි වල රිද්මය, සංකල්පනා( සිතන ආකාරය) සහ යහ පැවැත්ම තීරණය වන ආකාරයත් පිළිබඳව අනාවරණය කරගන්න පුළුවන්.

 

හුදු විද්‍යාත්මක දැනුම් පද්ධතීන් පදනම් කරගෙන පමණක් හෝ, බාහිර සාධක කෙරෙහි පමණක් යොමු වූ වෛද්‍ය විද්‍යාත්මක දැනුම පදනම් කරගෙන පමණක් හෝ, අධ්‍යාත්මික පසුබිමක් පදනම් කරගෙන පමණක් හෝ නිර්මාණය වූ ක්‍රමවේදයන් අතික්‍රමණය කර, මහාගුරු විසින් මානසික සෞඛ්‍යය ගැටලු වෙනුවෙන්, මේ සියලු පැතිකඩයන් ස්පර්ෂ කරමින්, සියලු පැතිකඩයන් සහ ඒවා අතර අන්තර්-සම්බන්ධතාවයන් පැහැදිලි කරමින් ඉතාමත්ම ඵලදායී මධ්‍යස්ථ විසඳුමක් ඉදිරිපත් කරනවා.

 

මෙය “තම තමාගේ ඇතුලාන්තය තුලට යොමු වූ තම ඇතුලාන්තය ගවේෂණය කරන විද්‍යාවක්” . ඒ ගවේෂණය හරහා සිතුවිලි නිර්මාණය වන ආකාරයත්, හැඟීම් සහ ආවේගයන් හටගන්නා ආකාරයත්, ඒ නිර්මාණය වීම් සහ හටගැනීම් එකිනෙකට සම්බන්ධ වූ ස්නායු පරිපථ ජාලයක බලපෑම මත සිදුවන ආකාරයත් පැහැදිලිව දැකගන්න පුළුවන් වෙනවා.

 

මහාගුරුගේ ප්‍රවේශය

 

“මහාගුරු ස්නායු මනෝවිද්‍යාව” හරහා ස්නායු පරිපථ සහ ඒවා ක්‍රියාත්මක වන රටාවන් යහපත් සහ වෙනස් ආකාර වලින් නැවත සකස් කර ගැනීම, ඒ හරහා මානසික නිදහස ඇති කර ගැනීම සහ ප්‍රීතිමත් ඵලදායී ජීවන රටාවක් නිර්මාණය කරගැනීම සඳහා අවශ්‍ය අවබෝධය සහ ප්‍රායෝගික ක්‍රමවේදයන් ඉදිරිපත් කරනු ලබනවා. මෙහිදී “මනෝවිද්‍යාව”,“ස්නායු” වැනි බටහිර විද්‍යාත්මක පද භාවිතා කලද, මහාගුරුගේ මේ ක්‍රමවේදය තුල ඒ විද්‍යාත්මක සංකල්ප, අපගේ සම්මුතික පංච ඉන්ද්‍රියයන් අභිබවා ගිය මාධ්‍යයක සිට සත්‍ය අධ්‍යාත්මික අත්දැකීම් සහ හැකියාවන් සමග සම්බන්ධ වෙනවා.

 

මෙම සාකච්ඡාවේ උපරිම ඵල නෙලා ගැනීම සඳහා සහභාගීවන අයට කල හැකි දෙය නම්, තම තමාගේ වෘත්තීය, දැනුම, පෞද්ගලික මතයන් ආදිය මත තමා තමාට දී ඇති සියලු හැඳින්වීම් සහ වටිනාකම් පසෙක තබා මහාගුරු පවසන දෙයටත්, ඒ හරහා තම ඇතුලාන්තය තුල සිදුවන පරිවර්තණාත්මක වෙනසටත් අවධානය යොමුකිරීමට නිහතමානී වීමයි.

 

ඔබට ආවේණික ක්‍රමවේදය සාකච්ඡාව තුලදීම ප්‍රායෝගිකව අත්දැකීමට නම් මොහොතකට තම තමාගේ ප්‍රතිරූපය එනම්  රැකියාව, සමාජ පසුබිම, සමාජයේ ඔබ දරන තනතුර ආදිය පසෙක තබා මහාගුරු ඔබව රැගෙන යන ගමනට සහයෝගීතාවයෙන් යුතුව එක්වන්න.

 

ඔබ ඔබගේ ඇතුළාන්තය දර්ශනය කර ගනිමින්, මා පෙන්වා දෙන මාර්ගය ඔස්සේ මාත් සමග තමා තුලටම අභ්‍යන්තර චාරිකාවක නිරත වීමට මම ඔබට ආරාධනා කරමි. උදාහරණයක් ලෙස මේ වෙලාවේ මා එක්වරම ඔබට ඔබේ නාසය අල්ලන ලෙස කිවහොත්, එයට හුදෙක් ඇහුම්කන් දෙමින් පමණක් නොසිට, ඒ පිළිබඳව සිතමින් කාලය ගත නොකර, ඔබ ඒ මොහොතේම මා කියන දේ සිදුකරන ලෙස මා ඉතා නිහතමානීව ඔබෙන් ඉල්ලා සිටිනවා. ඒ ආකාරයෙන් මම ඔබ සැම වෙනුවෙන් ඔබ තුලම අවකාශයක් විවෘත කරනවා. ඒ අවකාශය තුලදී ඔබ “ඔබෙන්” පිටතට පැමිණෙන, “ඔබ” තුල සැබෑ ලෙසම සිදුවන ක්‍රියාවලිය දර්ශනය කර ගන්නා, ඔබ “ඔබෙන්” මිදී යන අභ්‍යන්තර අධ්‍යාත්මික ක්‍රියාවලියක් තුලට පිවිසෙනු ඇත.

~මහාගුරු

 

මනස තුලින් දැකීම සහ බුද්ධිය තුලින් දැකීම

 

මහාගුරුට අනුව මනුෂ්‍යයා මූලික වශයෙන් පද්ධතීන් දෙකක් හරහා දැනුම ලබාගැනීමත්, දැනුම පරිහරණය කිරීමත් සිදුකරයි.

 

ඉන් පළමුවෙනි පද්ධතිය නම් “මානසික දර්ශනයයි” එනම් “මනස මූලිකව දැකීමයි”. මෙම දැනුම් පද්ධතිය මූලිකවම මනස සහ මනසේ ප්‍රජානන හැකියාව මත නිර්මාණය වෙයි.

 

මේ “මනස මූලික දැනුම් පද්ධතිය” තුලට නූතන විද්‍යාව, මනෝවිද්‍යාව, දර්ශනය වැනි විෂය පථයන් අන්තර්ගත වෙයි. මනස මූලිකව දැකීම හරහා ලබාගන්නා දැනුමට සාමාන්‍යයෙන් සිතුවිලි පරීක්ෂණ (thought experiments) සහ පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන යන නූතන විද්‍යාත්මක ක්‍රමවේද  හරහා ලැබෙන අත්දැකීම් සහ නිගමනයන් ඇතුළත් වනවා. එම දැනුම් පද්ධතිය තුළ නැවත නැවතත් සිදු කිරීමෙන් එකම ප්‍රතිඵලය ලබා ගත හැකි දේ පමණයි සාමාන්‍යයෙන් පිළිගන්නේ.  එහිදී අනිවාර්ය කාරණයක් ලෙස දැනුම මනස තුලට අවශෝෂණය කරගන්නවා. ඒ බාහිරින් අවශෝෂණය කරගත් දැනුම එකතු කර, සකස් කර, දැනුම විදියට ගොඩනගා ගන්නවා. මනෝ වෛද්‍ය විද්‍යාව සහ මනෝ චිකිත්සාව තුලද භාවිතා වන්නේ මේ මනස මූලික දැනුම් පද්ධතියයි.  

 

වර්තමානයේ භාවිතා වන වැඩි ප්‍රමාණයක් දැනුම් පද්ධති ක්‍රියාත්මක වීමේ යාන්ත්‍රණය නම් මේ ආකාරයට මනසට තොරතුරු ඇතුල් වීම, ඒවා නැවත සකස් වීම, සහ ඉන්පසුව මනස හරහාම හඳුනාගැනීමට ලක්වීමයි. සරල වශයෙන් “රෝස මලක්” හඳුනා ගැනීම හෝ, කෙනෙකුව “භික්ෂුවක්” ලෙස හඳුනා ගැනීම සිදුවන්නේ, මනසේ  තැන්පත්ව ඇති ඒ හා සමගාමී පෙර ලැබුණු තොරතුරු සහ ඉගැන්වීම් පදනම්ව නිර්මාණය වූ මනස මූලික දෘෂ්ටීන් සහ බාහිර කාරණා මත හඳුනා ගැනීම සිදු වන නිසයි.



 

දැනුම වෙත යන දෙවන මාර්ගය නම් “බුද්ධිය හරහා දැකීම” හෙවත් “ඥාන දර්ශනයයි”. 

 

මෙම ප්‍රවේශය, සම්මුතික මනසේ නිර්මිත පනවා ගැනීම් වලින්ද, යම් යම් දේ දැකීමට හුරු වී ඇති මනසේ මවා ගත් රාමු  වලින්ද ඔබ්බට යමින් මානසික ලෝකය අබිභවා යනවා.  එය සාමාන්‍ය මනසේ ප්‍රජානන හැකියාව, සිතීමේ හැකියාව, අධ්‍යයනය කිරීමේ හැකියාව, විනිශ්චය කිරීම්, සහ කරුණු දැක්වීම් වැනි කාරණා අතික්‍රමණය කරන ප්‍රවේශයක්.

 

මෙම “බුද්ධිය තුලින් දැකීම” කෙනෙකුව අධ්‍යාත්මික ලෝකය අත්දැකිය හැකි විභවයක් සහිත ඇතුලාන්ත පරාසයක් තුලට කෙනෙක් ව විවෘත කරනවා.

 

තවද මහාගුරු විසින් මේ “බුද්ධිය තුලින් දැකීම” අධ්‍යාත්මික හැකියාවක්, විද්‍යාවක්, කලාවක්, සහ තමාව තමාගෙන් වෙන්ව දකින ප්‍රායෝගික ක්‍රමවේදයක් ලෙස අර්ථ දක්වනවා.

 

වර්තමාන තොරතුරු යුගය තුල “බුද්ධිය තුලින් දැකීම” යන ප්‍රායෝගික ක්‍රමවේදය සැලකිය යුතු ලෙස භාවිතයෙන් ගිලිහී ගොස් ඇති අතර, ඒ වෙනුවට මනස මූලිකව දැකීම සහ තර්ක බුද්ධිය සමාජය තුල දැඩි ආකර්ෂණීය බවක් ලබාගනිමින්, පිළිගැනීමට ලක් වෙමින් සක්‍රීයව භාවිතයේ පවතිනවා.

 

සමාජය තුල මේ දෙආකාර දර්ශනයන් පිළිබඳව මතභේද සහ වාද විවාද නිරන්තරයෙන්ම පැන නගින අතර මහාගුරුගේ මෙම සාකච්ඡාව, මේ දර්ශනයන් දෙආකාරයම මනා ලෙස පැහැදිලි කරමින් සිදු කරන මධ්‍යස්ත සහ විවෘත සාකච්ඡාවක්. 

 

මහාගුරු විසින් මෙම “මහාගුරු ස්නායු මනෝවිද්‍යාව” පැහැදිලි කිරීමේදී, මේ දර්ශනයන් දෙක අතර මැද මධ්‍යස්ථ ස්ථානයක් රැඳී සිටිමින් එය සිදු කරන අතර, එහිදී මේ එක් එක් දර්ශනය එම දර්ශනය බවට පත්වන්නේ කෙසේද යන විද්‍යාව පැහැදිලිව පහදා දීමට උත්සාහ කරනවා.


 

එකිනෙකට සහ-සම්බන්ධව ක්‍රියාත්මක වන “මනස” සහ “ස්නායු පද්ධතිය                

 

මිනිසාගේ ජීවීත්වය භෞත-රසායනික පද්ධතියක් (මොලය සහ ස්නායු-රසායනික පද්ධතිය), සහ ජීවීත්වය අත්දකින ක්‍රියාකාරී ස්වභාවයක් එනම් මනසේ ක්‍රියාවලිය සහ මනස පෝෂණය කරන තොරතුරු සම්ප්‍රේෂණය වීමේ සම්බන්ධතා ජාලයක් හරහා නිර්මාණය වී පවතිනවා.

 

අපගේ සිතුවිලි, හැඟීම්, ආවේගයන්, සහ ප්‍රතික්‍රියාවන් ඒ ආකාරයෙන් ගොඩනැගීම සඳහා ළමා කල සිට අප විසින් මුහුණ දුන් සිදුවීම් හරහා ගොඩනැගී මෙම භෞති-රසායනික පද්ධතිය තුල ස්ථාපිත වුනු ආවේණික රටාවන් සහ මානසික රාමු බලපානවා.

 

වර්තමාන සායනික මනෝ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම සහ මනෝ චිකිත්සාව තළදී ප්‍රධාන ලෙසම අවධානය යොමු කරන්නේ මානසික නැතහොත් මනසේ ප්‍රජානන ක්‍රියාවලිය (cognition) පිළිබඳව ගැටලු සඳහායි. 

 

කෙසේ නමුත් මහාගුරු විසින් ඉතාමත්ම වැදගත් කාරණයක් මෙහිදී ඉස්මතු කරනවා.  එනම් මානසික ගැටලුවක් ලෙස අද විද්‍යාව හඳුනා ගන්නා කාරණයක් බලපාන හේතුවලින් සියයට පනහක් පමණ රැඳී තිබෙන්නේ තොරතුරු සම්ප්‍රේෂණය වීමේ ක්‍රියාවලිය තුල බවයි. මං හේතුවෙන් සත්‍ය තොරතුරු විකෘති වීම, වෙනස් වීම සහ තොරතුරු වලට හානි වීම හරහා විකෘති වූ දැනීම් සහ හඳුනා ගැනීම් ඇති වෙනවා. 

 

හානිදායක හෝ ඍණාත්මක අත්දැකීම් (Traumatic events) නිසා මේ සම්පූර්ණ ස්නායු රසායනික ක්‍රියාවලියම වෙනස් වීමට ලක් විය හැකියි. එම වෙනස් වීම් එකිනෙකට සහ-සම්බන්ධ වූ, එකිනෙක මත පවතින්නා වූ මානසික සහ කායික ගැටලු ලෙස බාහිරයට මතුවෙන්න පුළුවන්.


 

මානසික නිදහස ඇති කර ගැනීම පිණිස යොදාගත හැකි ප්‍රායෝගික ක්‍රමවේදයන්…

 

BASE ක්‍රමවේදය සහ ඉන් ඔබ්බට…

 

මානසික ගැටලු නිරාකරණය කර ගැනීමට සහ ස්නායු-රසායනික පද්ධතිය නැවත නිරෝගීව සකස් කර ගැනීමට මහාගුරු විසින් ප්‍රායෝගික ක්‍රමවේදයන් ඉදිරිපත් කරනු ලබයි.

 

මෙම නැවත සකස්කර ගැනීමේ (reprogramming) ක්‍රමවේදයේ මූලික ව්‍යුහය (Framework) වන BASE ක්‍රමවේදය ප්‍රධාන කාරණා හතරකින් නිර්මාණය වී ඇත.

 

B- Buffer (ඉවසීම): ඕනෑම හැඟීමක් හෝ සිතුවිල්ලක් කෙටි කාලයක් එනම් තත්පර පහක් පමණ කාලයක් ඉවසා සිටීම පුහුණු කරන්න. මෙමගින් “ඉවසීම”,  සාමාන්‍යයෙන් සමාජය තුල නිසිආකාරව උගන්වන්නේ නැති “ඉවසීම නම් හැකියාව” ඇතිවීමත් එහි වර්ධනය වීමත් සිදුවේ.

 

A - Acknowledge: (පිළිගන්න) 

ඔබේ ජීවිතය ගොඩනැගෙන මූලික කාරණා (fundamental building blocks) සහ ඔබේ මානසික සහ ස්නායු රසායනික රටාවන් නිර්මාණය වූ සැබෑම ආකාරය ක්‍රමානුකූලව පිළිගන්න.

 

S - Empty Space: ( හිස් කාමරය) 

ඔබට කිසිවක්ම නොසිතා විවේකීව සිටිය හැකි “හිස් ස්ථානයක්” නැතහොත් “හිස් කාමරයක්” ඔබේ මනස තුල නිර්මාණය කර ගන්න. මේ පුහුණුව තුල ඔබේ ස්නායු පද්ධතිය තුල  පැරණි, නිශ්ඵල ස්නායු පරිපථ රටාවන් වලට එරෙහිව ප්‍රතිරෝධයක් ගොඩනැගෙන අතර මනස විවේකයට පත්වෙනවා. පිරිමි පක්ෂය ස්වභාවයෙන්ම පහසුවෙන් මෙම “හිස් ස්ථානයට” හැඩගැසෙන නමුත් එය පුහුණුව හරහා ඕනෑම අයෙකුට තමා තුල ගොඩනගා ගතහැකි ස්වභාවයකි.

 

E - Understanding: (තේරුම් ගැනීම)

මනස යනු කුමක්ද යන්න ගැඹුරින් වටහා ගැනීම ඉතා වැදගත්. මනස ආයතනයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. රෙදි සෝදන යන්ත්‍රයක් මෙන් මනස එයට තොරතුරක් ලැබුණු සැනින් එය පුහුණු වී ඇති ආකාරයට ක්‍රියාත්මක වෙනවා. මේ මනසේ ක්‍රමවේදය තේරුම් ගැනීම මගින් ඔබේ ස්නායු-රසායනික පද්ධතියට ධනාත්මක වෙනස්කම් හඳුන්වා දීමට අවකාශය නිර්මාණය වෙනවා.

 

මහාගුරු විසින් BASE ක්‍රමවේදයෙන් ඔබ්බට, තවදුරටත් ප්‍රායෝගිකව පුහුණු කල හැකි භාවිතයන්  ඉදිරිපත් කරනවා.

 

1. චිකිත්සක ප්‍රතිකාර (Therapeutic) ක්‍රමවේදය (Swinging Object - පැද්දෙන වස්තුවක් යොදාගෙන සිදුකරන ප්‍රතිකාර ක්‍රමය) 

මේ සරල ක්‍රමවේදය මානසික පීඩනය, ඇබ්බැහිවීම්, හෝ දීර්ඝ කාලීනව පවතින ඍණාත්මක මතකයන් නිසා ඇතිවන පීඩනය වැනි අවස්ථාවන් වලදී යොදාගත හැක.

 

මේ සඳහා තැඹිලි පැහැති වස්තුවක් (මලක් හෝ කුඩා බෝලයක් වැනි) එල්ලා ඇස් මට්ටමේදී දෙපසට පැද්දීමට (දෝලනය වීමට) හරින්න. ඉන්පසු ඒ පැද්දෙන වර්ණවත් වස්තුව දෙස එකදිගට බලාසිටින අතර තමාට පීඩා ගෙනදෙන කාරණයට  (වේදනාත්මක මතකයක්, තරහක්, භයක් වැනි…) අවධානය යොමුකරන්න.

 

මේ ක්‍රියාවලිය මගින් පුරුද්දක් ලෙසට ඇතිවන සිතුවිලි සහ ඒ සිතුවිලි වල රිද්මයද, ඒ මගින් ස්නායු-රසායනික පද්ධතිය තුල ගමන් කරන පණිවිඩයන්ද කඩාබිඳ දමනවා. ඒ හරහා අදාල ඍණාත්මක සිදුවීමට සම්බන්ධව ගොඩනැගුණු ස්නායු පරිපථද සාර්ථකව බිඳ දමන අතර එම සිදුවීමෙන් වූ හානිය අවම කර දෙනවා. මේ ක්‍රමවේදය මගින් මතකය මකා දැමීමක් සිදු නොවන නමුත් ඒ මතකය හරහා නිර්මාණය වන ආවේගයන් අවම කරනවා.

 

2. පමණ ඉක්මවා සිතීම (Overthinking) අවම කර ගැනීමට ක්‍රමවේදයන් 

 

  1. මනස වෙන් වෙන් අවකාශ වලට බෙදා ගැනීම (Mind Compartmentalization)
    මෙහිදී සිදුකරන්නේ ජීවිතයේ එක් එක් පැතිකඩයන් මානසිකව එකිනෙකට වෙන්වූ අවකාශ/ කාමර වලට බෙදා වෙන්කර ගැනීමයි. උදාහරණ ලෙස පවුල් ජීවිතය, රැකියාව, අන්තර් සම්බන්ධතා ආදී ලෙස ඒවා වෙන්කර ගන්න පුළුවන්. මෙහි අරමුණ වන්නේ අවුල් වී ඇති මනස මනා ලෙස “පිළිවෙලකට සංවිධානය කරගත් අවුලක් (Organised mess)” බවට පරිවර්තනය කර ගැනීමයි.
     
  2. ජීවිතය ඉලක්ක මත ගොඩනගා ගැනීම (Build life on goals)
    තාවකාලික හෝ කෙටිකාලීන සිතුවිලි සහ බලාපොරොත්තු මත වැඩ කටයුතු කිරීම වෙනුවට ජීවිතය පැහැදිලි ඉලක්ක මත ගොඩනගා ගන්න. පැහැදිලි ඉලක්කයක් සහ අරමුණු සහිතව කටයුතු කරන විට ඒ මගින් ජීවිතය ගෙන යා යුතු දිශාව හැඟීයන ආකාරයට සිතුවිලි වල රිද්මය වෙනස් වෙනවා.
     
  3. මනස නිරීක්ෂණය කරන්න (Observe the mind)
    මේ සංකීර්ණ ක්‍රමවේදය තුලදී මනස තුළ කතාවන් (mind's narratives) නිර්මාණය වන මූලයන් අවබෝධ කරගැනීම සිදු වෙයි. ගැඹුරු අධ්‍යාත්මික මාර්ගයක් වඩන අයට මේ මගින් ජීව විද්‍යාත්මක සහ මනෝවිද්‍යාත්මක කාරණා වලින් මනස වෙන්කර දැකීමටත් , කෙලෙස්, තෘෂ්ණාව, ගැටීම සහ මෝහය වැනි පැතිකඩයන් දැකීමටත් හැකිවෙයි.

    උදාහරණයක් ලෙස මේ අධ්‍යාත්මික හැකියාව, කෑදර කම මත නිර්මාණය වූ පුරුද්ද නිසා ඇතිවන කුසගින්න සහ සැබෑම ජීව විද්‍යාත්මක කයේ අවශ්‍යතාවය නිසා ඇතිවන කුසගින්නෙන් වෙන්කර හඳුනාගත හැකි තරමට, හැඟීම් හට ගැනීම පසුපස ඇති සැබෑ හේතු ප්‍රත්‍යක්ෂව දැකිය හැකි මට්ටමට දියුණු කළ හැකියි.
     
  4. සැබෑ මානසික නිදහස වෙනුවෙන් මනා ලෙස සංවිධානය කර ගත් මනසක් ගොඩනගා ගැනීම. (Cultivating an Organized Mind for True Liberation)
    විශේෂයෙන්ම ආවේග සහ හැඟීම් පාලනය කර ගැනීම සහ කලමනාකරණය කර ගැනීමට ඉතා අසීරු තත්ත්වයක පසුවන වර්තමාන ලෝකය තුල මේ ඉගැන්වීම් වල අරමුණ වන්නේ මූලික වශයෙන්ම පුද්ගලයන් වශයෙන් සංවර්ධනය වීමට මගපෙන්වීමයි. 

    සංවිධානය කරගත් මනස ඇතිවිට එය විශාල සුව පහසුවක් සහ නිදහසක් ගෙන දෙනවා. ඒ තුල “සහජ බුද්ධිය” නැතහොත් “සහජ ඉව” වර්ධනය වීමට ඉඩ සැලසෙන අතර ඒ හරහා අනාගත සිදුවීම් පිළිබඳව පවා පූර්ව දැනීමක් ඇතිකර ගත හැකි මට්ටමට දියුණු වෙන්න පුළුවන්.

    මේ ආකාරයෙන් සංවිධානය කරගත් ජීවන රටාවක් තුල සෑම සිදුවීමක්ම මනසේ අදාල වෙන් කරගත් අවකාශය තුල  සිහි කල්පනාවෙන් යුතුව සිදුවන අතර එය අති විශාල මානසික සුවපහසුවක් ඇතිකරනවා. මේ මානසික සුවපහසුව සහ නිදහස අධ්‍යාත්මික සුවපහසුවෙන් පැහැදිලිව වෙන්කර හඳුනාගත හැකියි.

    මේ සටහන තුළ ඇත්තෙන්ම තියෙන්නේ මහාගුරු ස්නායු-රසායනික මනෝවිද්‍යා වැඩසටහනේ ඉතාමත්ම සුලු මතුපිට කොටසක් පමණයි. (Only the tip of the iceberg). විද්‍යාත්මක දැනුම සහ අකාලික බුද්ධිය සහ ඥානයන් එකට එකතුකර මහාගුරු විසින් නිර්මාණය කර ඉදිරිපත්කරන ක්‍රමවේදයන් හරහා ඔබට පහත ප්‍රතිලාභයන් ද හිමි කරගත හැකියි.
     
    1. අතීත සිදුවීම් මගින් වර්තමානයේ මනසේ ක්‍රියාවලිය නිර්මාණය කරන ආකාරය දැකිය හැකිවීම.
    2. ඔබට හානිදායක රිණාත්මක ස්නායු පරිපථ වලට බාධාකර ඒවා නැවත සකස්කර ගැනීමට හැකියාව ලැබීම.
    3. ඉලක්ක සහ අරමුණු පදනම් කරගෙන ක්‍රියාත්මක වෙන සංවිධානය වූ මනෝ පාරිසරික පද්ධතියක් ගොඩනගා ගතහැකි වීම.
    4. මනසේ හුදු ප්‍රජානන හැකියාව අතික්‍රමණය කර සිහිකල්පනාවෙන් යුතු පුළුල් වූ දැනීම් ඇතිකර ගත හැකි වීම.


මෙම ක්‍රමවේදයන් කිසිසේත්ම හුදු විෂය දැනුම පදනම් කරගෙන නිර්මාණය කල ඒවා නොවන අතර, ඒවා සකස් කර ඇත්තේ එක් එක් පුද්ගලයා තුල ස්වයං සංවර්ධනය සහ මානසික සුවය ඇතිකරගැනීමට සහ ඒවා දියුණු කර ගැනීමට හැකිවන ආකාරයට බව මහාගුරු මෙහිදී අවධාරණය කරනවා.

 

මෙම වැඩසටහන, තමාගෙන් වෙන් වී නමුත් මනා පදනමක පිහිටා සිටිමින්, ඇතුලාන්තය දැකීම සහ තම ඇතුලාන්තය තමා විසින්ම කියවීම සිදුකරන ඇතුලාන්ත ක්‍රියාවලියක් අත්දැක ගැනීම සඳහා ඔබ සැමට කරන ආරාධනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. 

 

මෙම ඉගැන්වීම් තම ජීවිතය තුල ප්‍රායෝගිකව පුහුණු කිරීම තුලින් ඔබට ඔබේ ඇතුලාන්ත බුද්ධිය අවධිකර ගනිමින් ජීවිතයේ සැබෑ නිදහස අත්දැකිය හැකි වනවා. එනම් තම ජීවිතය තුල “මහාගුරු” නම් තමාම බව දැකිය හැකි වෙනවා.

 

 

මෙය කියවා අවසානයේ මෙම පිටුව වසා දැමීමට පෙර ඔබ ඔබේ ජීවිත පොතේ අද දින කුමන පරිච්ඡේදයක් රචනා කරන්නේද යන්න ඔබෙන්ම අසන්න. මහාගුරුගේ මේ ආරාධනය ඔබේ හදවත තුල දරාගෙන “මනසත්”, “බුද්ධිය සහ ඥානයන්” අතර මධ්‍යස්ථ ස්ථානයකට පැමිණ ජීවිතයේ වටිනා උත්සාහයන්, කාර්යයන් සහ අත්දැකීම් රචනා කිරීම ආරම්භ කරන්න.

 


 

ප්‍රධාන කතෘ - මහාගුරු (පූජ්‍ය වැහිගල සුමේධ හිමි)

 

පූජ්‍ය වැහිගල සුමේධ හිමියන් යනු සත්‍ය ගවේෂණය සහ අධ්‍යාත්මය පිළිබඳව වූ ඇතුලාන්තය ගවේෂණය වෙනුවෙන් තම පූර්ණ ජීවිත කාලයම කැප කල ගැඹුරු යථාර්ථයක් ස්පර්ශ කළ ආධ්‍යමිකයෙකි. තම ස්වයං අවබෝධය හරහා ලබාගත් ඥාන දර්ශනය ද වර්තමාන ලෝකයේ භාවිතයේ පවතින  මනෝවිද්‍යාත්මක සහ ස්නායු මනෝචිකිත්සක ක්‍රමවේදයන්ද පෞරාණික දැනුම් පද්ධතිද යන සියලු පැතිකඩයන් ස්පර්ෂ කරමින් පූජ්‍ය වැහිගල සුමේධ හිමියන් ඉදිරිපත්කරන දර්ශනය නිසා  උන්වහන්සේ මේ විෂයය පථය තුල විශේෂයෙන් කැපීපෙනෙන චරිතයක් බවට පත්වී ඇත. සියුම් ශක්තීන් සහ එම ශක්තීන් සමග මනසේ ප්‍රජානන ක්‍රියාවලිය, හැඟීම් සහ ආවේග, භෞතික ශරීර ක්‍රියාවලිය, මනස සහ ඇතුලාන්ත බුද්ධිය අන්තර් ක්‍රියා කරන ආකාරය පිළිබඳව දශක ගණනාවක් පුරා සිදුකල ප්‍රායෝගික අධ්‍යයනයන් හරහා, අප තුල මුල්බැස ගන්නා සිතුවිලි රටාවන් නිර්මාණය වන ආකාරයත් ඒවා වෙනස් කල හැකි ආකාරයත් පිළිබඳව ඉතාමත් තියුණු සහ සූක්ෂම අවබෝධයක් උන් වහන්සේ සතුව පවතී. සාම්ප්‍රදායික දැනුම මෙන්ම නූතන විද්‍යාවද අතික්‍රමණය කරන වැහිගල සුමේධ හිමියන් සතු ඥාන පරාසය හරහා නිර්මාණය වන උන්වහන්සේගේ මෙම දර්ශනය තුල විවිධාකාර පටු විශ්වාසයන් ඇතිවීමට මූලය වන මනසේ රටාවන් විවෘත කර පෙන්වා දෙන සහ, එම සෘණාත්මක රටාවන් කඩා බිඳ දමා මානසික නිදහස වෙත ක්‍රමානුකූලව ඔබ ගෙන යන ප්‍රායෝගික ක්‍රමවේදයන්ද අන්තර්ගත වෙයි. මනස සහ අධ්‍යාත්මය පිළිබඳ සියලුම පැතිකඩයන් වලට සම අවධානයක් දෙමින් ස්නායු-මනෝවිද්‍යාව, අධ්‍යාත්මය, සහ  තම ජීවන අත්දැකීම් තුලින් මතුකරන  ප්‍රායෝගික ඉගැන්වීම්  යන සියල්ල යා කරමින් පූජ්‍ය වැහිගල සුමේධ හිමියන් විසින් ඉදිරිපත්කරන ලද  ක්‍රමවේදයන් හරහා විවිධ සමාජ පසුබිම් සහිත පුද්ගලයන් තුල ඔවුන්ගේ පූර්ණ මනෝ-අධ්‍යාත්මික විභවයන් විවෘත කර දීමට අවකාශය සලස්වමින් ඒ එක් එක් පුද්ගලයාට තම තමාට අවේණික මාර්ගයන් විවර වීම සිදුවෙමින් පවතී.

 

සම කතෘ - පූජ්‍ය දොඩන්ගොඩ භද්දිය හිමි

 

පූජ්‍ය දොඩන්ගොඩ භද්දිය හිමියන්  තිස්පස් වියේදී පැවිදි ජීවිතයට එළඹීමට පෙර  මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධියක් ලබා අනතුරුව විදුලි ඉංජිනේරුවරයකු ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ ජංගම දුරකථන ව්‍යාපාරයක සේවය කල අයෙකි. උන්වහන්සේ පූර්ණ කාලීනව පැවිදි ජීවිතයට අවතීර්ණ වීමට මගපෑදුවේ සත්‍ය ගවේෂණය වෙනුවෙන් වූ සාම්ප්‍රදාය අභිබවා ගිය ඉතා විවෘත ගමනක් සඳහා වූ අභිප්‍රායයි. මනස සහ අධ්‍යාත්මය පිළිබඳව යාන්ත්‍රණයන් පැහැදිලි ප්‍රායෝගික අනුරූප හරහා ආකෘති ගත කරමින්, ඒ හරහා ප්‍රායෝගික වැඩමුළු සහ දේශනා වලට වෙනස් මුහුණුවරක දැක්මක් ලබාදීමට දොඩන්ගොඩ භද්දිය හිමියන් කටයුතු කරයි.  මනස සහ ආධ්‍යාත්මය පිළිබඳ ගැඹුරු මානයන් ගවේෂණය කරමින් යන එම ගමනට විවිධ වෘත්තීය විශේෂඥයින්ද සහභාගී කර ගනිමින් සාමූහික උත්සාහයක උන්වහන්සේ නිරතව සිටියි.

 

අධ්‍යාත්මය මනසින් දැකිය නොහැක.

ඔබේ ආවේණික ධර්ම මාර්ගය අවංකත්වය හෝ ඥාන දර්ශනය තුලින් සොයාගන්න....