maithribodhi
maithribodhi

අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න

maithribodhi

2025 වෙසක් දින චතුරාර්ය ශක්තිය දේශනාව

2025-05-12

Maithri Buddha

මනුස්ස ලෝකයේ කාරණා සහ අරහත් ලෝකයේ කාරණා පිළිබඳව යමක් කතා කරන්නයි යන්නේ. මනුෂ්‍ය ලෝකයේ සත්වයා ජීවත් වෙන්නේ කාලයත් එක්ක. මට උදේ කාලේ තිබුණා… මට දවල් කාලේ තිබුණා… මට රාත්‍රිය කාලේ තියෙනවා… මට හෙට දවස තියෙනවා… තව දවස් කීපයක් තියෙනවා… මට මාසයක් තියෙනවා… අවුරුද්දක් තියෙනවා… මේ මනුෂ්‍ය ලෝකයේ අය ජීවත් වෙන්නේ, සම්මුතිය ගොඩනැගන්නේ කාලයත් එක්ක.  ඔවුන් ජීවත් වෙන්නේ කාලය දිහා බලාගෙන. 

 

අපි මේ යන ගමන තුළ පාරේ ඉන්න බල්ලෝ බුරන ඒවා දිහා බලන්න එපා කියලා මා කියනවා. එතකොට පාරවරදිනවා. ගමන පොඩ්ඩක් හරි පරක්කු වෙනවා.  බල්ලට ගලක් හරි ගන්න පරක්කු වෙනවා. බල්ලට බුරන්න දීලා අපි යන්න ඕනේ අපේ ගමන. බල්ලෝ කොහොමත් බුරනවා. ඉස්සර මා පිණ්ඩපාතේ යද්දී වටේ හිටපු බල්ලෝ ඔක්කොම බුරන්න පටන් ගන්නවා. පාන්දර හතරට විතර මම කැලේ ඉඳන් එන්න පටන් ගන්නේ. එළියට වැටෙන කොට ගමකට එනවා. බල්ලන් ඔක්කොම එක රැල්ලට බුරන්න පටන් ගත්තට පස්සේ ගෙවල් වල මිනිස්සු දොරවල් ඇරලා එළියට ඇවිල්ලා බැලනවා. එහෙම බලලා තමයි දානේ දුන්නේ. ඒ නිසා මේ බල්ලෝ බුරන එකට නතර කරන්න එපා.  බල්ලොන්ගේ හඬට තමයි ගේවල් වල ඉන්න මිනිස්සු ගෙයින් එළියට එන්නේ. එතන පුදුම ධර්මතාවයක් තියෙනවා.

 

මනුෂ්‍ය ලෝකයේ කාලය තුළ ජීවත් වුනාට, අරහත් ලෝකයේ ජීවත් වෙන්නේ මේ මොහොත තුළයි. සමහරවිට මේ මොහොතවත් නැහැ. මේ මොහොතත් අයින් කරලා දානවා.  මේ මොහොත කියන ධර්මතාවය තුළ තමයි අරහත් ලෝකයේ අය ජීවත් වෙන්නේ. මනුෂ්‍ය ලෝකයේ අය ජීවත් වෙන්නේ මේ මොහොතේ පෙනෙන ජාතිත් එක්ක. උදාහරණයක් විදිහට අපි හිතමු මෙතන සද්දයක් ඇහෙනවා කියලා. මනුස්ස ලෝකයේ අය ඔය සද්දයත් එක තමයි ජීවත් වෙන්නේ. එක්කෝ ඒකට බැන බැන ජීවත් වෙනවා. නැත්නම් ඒකට ඇලෙනවා. අරහත් ලෝකයේ අය තමන්ගේ පැත්තට හැරිලා තමන්ගේ ලෝකය ඇතුළේ තමන්ගේ මානසික නිදහස හදාගෙන ජීවත් වෙනවා. අරහත් ලෝකයේ අය හදන්නේ මානසික නිදහස. එලියේ ලෝකයේ මිනිස්සු පරිසරය හදලා තමයි නිදහස ගන්න යන්නේ. භෞතිකත්වය හදන්න උත්සාහ කරනවා. මනුෂ්‍ය ලෝකය අය භෞතිකත්වය හදන්න උත්සාහ කරනවා තමන්ගේ නිදහස වෙනුවෙන්. රහත් ලෝකයේ අය තමන්ගේ මනස හදාගන්නවා තමන්ගේ මානසික නිදහස වෙනුවෙන්. 

 

මේ අතර පෙරදින රාත්‍රියේ මහගුරු මධ්‍යස්ථානයට පැමිණි කෙනෙක් මහගුරු සමග කතා කරමින් සිටින ගමන් පවසනවා මෙහේ රස්නෙයි එක නිසා ඉන්න අමාරුයි කියලා. එහෙම කියද්දී මට එයාට කියන්න හිතුනු දේ තමයි ඔබ ඔය මනුස්ස ලෝකයෙන් අයින් වෙලා රහත් ලෝකයට එන්න කියන දේ.  දැන් මෙතන මිනිස්සු ජීවත් වෙන්නේ නැද්ද? රස්නය කියලා මිනිස්සු කවුරුවත් මෙතන දාලා ගියාද? නෑ. ප්‍රශ්නය නම් ඒ භෞතික දේවල් වලට ගැටෙමින් භෞතික දේවල් නිර්මාණය කරන්න යනවා. වහිනකොට වැස්සට බනිනවා. ඒක තැවීමට හේතුවක් කර ගන්නවා. වෙනදා මේ මධ්‍යස්ථානයේ කට්ටිය ගොඩක් ඉන්නවා. අද කවුරුවත් නෑ.  හරිම නිදහස්. දානේ ටිකත් තියෙනවා. හරිම නිදහස්. භාවනාවක් කරගෙන බොහොම නිදහස්ව ඉන්න පුළුවන්. මෙච්චර හොඳ මානසික නිදහසක් ලැබිලත් එයා භෞතික දේවල් ගලපනවා කියලා මට පේනවා. මට ඒ වෙලාවේ තමයි හිතෙන්නේ ඔය මනුෂ්‍ය ලෝකයෙන් අයින් වෙලා රහත් ලෝකෙට එන්න කියලා කියන්න. ඉස්සර රහතන් වහන්සේලා සෝහොනේ වැඩ වාසය කරන්නේ. ඇයි ඒ?.  මානසික නිදහස තියෙනවා එතන. ඒ කට්ටිය මන්දිර හදන්න ගියේ නෑ. මොකද භෞතිකත්වය හදන්න ගියේ නැහැ. ඒ කට්ටිය හැදුවේ මානසිකත්වය. භෞතිකත්වය හදන එක අත්හැරලා මානසිකත්වය හැදුවා. භෞතිකත්වය ලැබුනොත් පිළිගන්නවා නැත්නම් ඒක අතහැරලා ජීවත් වෙනවා. ඒ නිසා ඔබ මනුස්ස ලෝකෙන් ඇවිල්ලා ප්‍රමුඛතාවය මානසික නිදහසට දෙන්න. ඔබට මොනවා ලැබුණත්, මේ ලෝකේ ඕනම කෙනෙකුට මොනවා තිබුණත්, මොනවා ලැබුණත්, මානසික නිදහස නැත්නම් වැඩක් නෑ. ඒ ජීවිතය අසාර්ථකයි. ඉදිරි ජීවත් වෙන කාලේ මානසික නිසා හදාගන්න. ලේසියෙන් බණක් අහගෙන භාවනාවක් කරගෙන මෙච්චර හොඳ අවස්ථාවක් ලැබිලා තියෙද්දි මෙයාට මේක පෙනෙන්නේ නැත්තේ ඇයි කියලා මම කල්පනා කරනවා. මට නම් එහෙම අවස්ථාවක් ලැබනවා කියන්නේ මට ගන්න පුළුවන් හොඳම අවස්ථාව එක. දානේ ටික පවා තියෙනවා. මාර නිදහසක්නේ ඒක. වචනයක්වත් කතා කරන්න කෙනෙක් නෑ. එතකොට ඒ වගේ මේ මනුස්ස ලෝකය අය භෞතිකත්වය හදනවා, මානසික නිදහස් හදාගන්න. හැබැයි මේ රහත් ලෝකයේ අය මානසික නිදහස වෙනුවෙන් භෞතිකත්වය හදන එක නතර කරලා තියෙන්නේ. ඒ අය මානසික නිදහස වෙනුවට මනස හදාගන්නවා. ඒකට ප්‍රබලව හොඳින් සංවිධානය වුණ මනසක් හැදෙන්නට ඕනා. Busy නැති මනසක් හැදෙන්න ඕනා. Busy නැති වෙන්න මනසක් හදාගන්න තමයි මනස organize කරගන්නේ. මම මේ ගැන පැහැදිලි කිරීමක් ඉදිරියේදී සිදු කරනවා. ඒ වගේම තමයි ආයතන වලට,  කළමනාකරුවන්ට, corporate level එකෙන් මේ මනස organize කරගන්නේ කෙසේද කියන එක පිළිබඳව මා වෙනම වැඩමුළු පවත්වනවා. 

 

මානසික නිදහස් හදාගන්න. ඒක නැති කරගන්න එපා. මෙහේ වැඩ කරන අයට මම කියන දෙයක් තමයි, ඔබට මම නිවාඩු දීලා නෑ,  දීලා තියෙන්නේ වැඩ.  ඒ කියන්නේ, ඔයා කැමති දවස් තරමක් නිවාඩු ගන්න හැබැයි, එයාගේ මානසික නිදහසත් මම බලනවා. එයාගේ මානසික නිදහසත්, ඒ වගේම කාලයත් එක්ක එයාගේ වැඩ ටිකත් කියන දෙකම ඕනේ. ඒ දෙක නැත්නම් මා එයාව ඒ තනතුරු වලින් ඉවත් කරලා, එයාට වැඩ කරන්න පුළුවන් තැනක තියෙනවා. ඒ පිළිබඳව දැනුවත් කිරීමක් මුලදීම එයාට කරනවා. මේ මනුෂ්‍ය ලෝකයේ කාරණා, රහත් ලෝකයේ කාරණා සහ මානසික නිදහසට අමතරව තව ඔබ දන්නේ නැති නමුත් ඔබට ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ඔබගේ පැවැත්ම. පැවැත්ම කියන්නේ,.. දැන් අපි වෙලාව රෑ අටයි කියලා ගමු. මේ වෙලාවේ ඉඳන් එළි වෙනකම් ඔබ මොකද කරන්නේ? එළිවෙලා ඊට පස්සේ මොකද කරන්නේ? අවුරුදු 10ක් 15ක් හරි, 40ක් 50ක් හරි මැරෙනකං ජීවත් වෙන්න වෙනවා.  දැන් මැරෙනකං මොකද කරන්නේ? ඕක තමයි පැවැත්ම කියන්නේ. 

 

මැරනකම් මම මොකද කරන්නේ? මම සත්වයාට ධර්මය දේශනා කරනවා. මාර්ගය දෙනවා. ඒක තුල බෝධි මූලය විදියට මගේ පැවැත්ම හැදෙනවා. මට මැරෙනකම් වෙන කරන්න දෙයක් නැහැ. සියල්ල අවබෝධ කරගෙන ඉවර වුණාට පස්සේ මට කරන්න දෙයක් නැහැ. සියලු දේවල් අංග සම්පූර්ණයි. ඒ කියන්නේ මගේ අභ්‍යන්තර ලෝකය පවා සම්පූර්ණ වුණාට පස්සේ මට කරන්න දෙයක් නැහැනේ. සියල්ලම සම්පූර්ණයි. ඒ නිසා මම සත්වයාට එතනට එන්නේ කොහොමද කියන මාර්ගය කියලා දෙනවා. මගෙත් එක්ක ගනුදෙනු කරපු අය ඒ ගැන දන්නවා. 

 

එතකොට ඔබලාගේ පැවැත්ම මොකක්ද? ඔබලාගේ පැවැත්ම සඳහා මනස හොඳට සංවිධානය වෙන්න ඕනා. ඒ කියන්නේ මනස හොඳට organise වෙන්න අවශ්‍යයි. ඒක බොහෝම ආතතියකින් තොරව හොඳට සැහැල්ලුවෙන් සිදු කළ යුත්තක්. නැත්නම් ඕගොල්ලෝ මැරෙනකම් මොකක්ද කරන්නේ? 

 

මට මතකයි එක පාරක් හොඳ ලස්සන සිදුවීමක් සිදුවුණා. මගේ හොඳම කල්‍යාණ මිත්‍රයෙක් දවසක් කියනවා, මට රැකියාවෙන් ඉවත් වෙලා මහණ වෙන්න හිතෙනවා කියලා. එවිට මම අහනවා ඔයා මහණ වෙලා මොකද කරන්නේ කියලා? ඔයා ඔය හොයන්නේ කරන්න දෙයක් නේද?. මෙටල් ගල් ලෝඩ් එකක් අරගෙන ගිහිල්ලා, Beach එක අයිනට දාලා ඒ මෙටල් ගල් එකින් එක අරගෙන ගෙන මුහුදට විසි කරන්න කියලා මම කිව්වා. පැවිදි වෙලා ඉන්න බහුතරයක් වර්තමාන වෙද්දී මොකද කරන්නේ? ජීවිතේ රස්තියාදු ගහනවා. එහෙ මෙහේ ඇවිද ඇවිද, කකා බිබී, පොත් කියව කියවා සමහරෙක් මොකක් හරි ධ්‍යාන භාවනාවක් කරගෙන, මිත්‍යා ලෝකයකට ගිහිල්ලා එහෙමත් නැත්නම් පන්සල් ආරක්ෂා කරගෙන මුරකරුවන් වගේ පන්සල් රකිනවා. මම මේ ඒ හාමුදුරුවන් ගැන තරහකින් කියනවා නෙමෙයි. මම ආදරේට කියන්නේ. මමත් සිවුරක් දාගත්ත භික්ෂුවක් විදියට කියන්නේ. මමත් ඔය ටිකම දැක්කා. මමත් ඔය වලටම වැටුනා. ඔය කබාව මගේ බෙල්ලත් ගැට ගහන්න හැදුවා. මම උපසම්පදාවත් වෙලා නැහැ. මොකද මට වැදගත් කුසලස්ස උපසම්පදා විතරයි. ඒක මම මා විසින් කරගන්න අවශ්‍ය දෙයක්. භෞතික දේවල් මට වැඩක් නැහැ.  උපසම්පදා වෙලා ටිකක් පරණ වෙද්දි තව කට්ටියව මහණ කරගන්න හම්බවෙයි. ආරක්ෂකයින් පිරිවරාගෙන යන්න හම්බවෙයි. ඉස්සරහකින් ඉඳගන්න හම්බවෙයි. පන්සලයි දේපලයි ලැබෙයි. නමුත් ඒක වදයක්නේ. අපි ඒකටද පැවිදි වුණේ? නැහැනේ? අපි ඒවා දාලා ආවේ. මොකක්ද මේ උපසම්පදාව කියන්නේ? ධර්මය තමන් විසින්ම උපයලා අනුන්ටත් දෙන්න පුළුවන් කියන එකයි. ඒ ධර්මය දකින්නේ ඇතුලාන්ත බුද්ධියකින්. පොත් වලින් නෙවෙයි.

 

අද බහුතරයක් අපේ ගරුතර භික්ෂූන් වහන්සේලා ඉතාම හොඳ සිතින් මේ සාසනයට එකතුවෙලා, පැවිදි වෙලා, පසුව මේ එක එක පරාල කොට කර ගහන එක ඒ අයගේ පැවැත්ම වෙලා තිබෙනවා.

 

සමහරු කොච්චර මේ පරාල කොට කර ගහලද කිව්වොත්, මීට අවුරුදු කිහිපයකට කලින් මට යම් කිසි සිද්ධියක් වුණා. එතකොට මම පැවිදි වෙලා වැඩිකාලයක් නෑ. අවුරුද්දක්වත් වෙලා නෑ. මෑත කාලයේ පහල වූ pureම රහතන් වහන්සේ බවට මා දකින ස්වාමීන් වහන්සේ නමක් සිටියා. උන්වහන්සේ පිරිනිවන්පෑවට පස්සේ උන්වහන්සේ වැඩ සිටියේ පන්සල් මම අල්ල ගන්න යනවා කියලා කට්ටියක් මට චෝදනා කරා. ඇත්තටම එහෙම කිසිම සම්බන්ධයක් නැතිව පන්සල් අයිති කරගන්න පුළුවන් ද? පෞද්ගලික දේපලක් හෝ විහාරයක් අයිතිවෙන නීත්‍යානුකූල ක්‍රමයක් තිබෙනවා. ඒකවත් නොපෙනෙන ගානට ඔවුන් අන්ධ වෙලා මට චෝදනා කරා. මා උන්වහන්සේ හමුවෙලා තිබුනේ තුන්පාරක් පමණයි. මුලින්ම පාර උන්වහන්සේ හම්බවුණේ මා ගිහි කාලේ. ඒ කියන්නේ එයාලා කොච්චර ඒ පන්සල අල්ලගෙනද? මා එහෙම එකක් හිතලවත් නැහැ. අල්ලගෙන ගේට්ටු දාන්න එහෙම තියා මා ඒ පන්සලට ගිහිල්ල තියෙන්නෙ දෙපාරයි. එකක් උන්වහන්සේගේ ආදාහන උත්සවයට සහ අනිත් අවස්ථාව මගේ කල්‍යාණ මිතුරෙක් යන වෙලාවක මාව එතනට එක්කන් ගියා. ඒ කට්ටිය තමා මට ඉස්සෙල්ලාම කතා කරේත්. ගෙවල් මුර කරන බල්ලො වගේ, අද වෙද්දි බහුතරයක් ඒ වගේ තැනට පත්වෙලා ඉන්නේ. මම කියන්නේ මේ වගේ වැඩ වලටද අපි පැවිදි වුණේ කියලා. ගිහි ජීවිතයේ දුක්ඛිත භාවයෙන් මිදිලා ආධ්‍යාත්මික පැවැත්මක් හදාගන්නනේ මහණ වුණේ. ආධ්‍යාත්මික පැවැත්ම කියන්නේ කායික, මානසික, ආධ්‍යාත්මික යහපැවැත්ම. හොඳ පැවැත්මක් කායික පැත්තෙනුත් ආධ්‍යාත්මික පැත්තෙනුත් මානසික පැත්තෙනුත් හදාගන්න තමයි අපි පැවිදි භාවයට ආවේ. නමුත් අද වෙද්දී ගරුතර භික්ෂූන් වහන්සේලා තුළ ඔය පැවැත්ම තියෙනවද? නැහැනේ. බොයිලර් කුකුල්ලු වගේ දෙන කෑම කාලා ව්‍යායාම කරන්න බැහැ. ඒ අයට gym එකකට යන්න විදිහක් නැහැ. ඒකට අවශ්‍ය නිදහස සංස්කෘතිය තුළ හිර කරලා. සංස්කෘතික හිර කූඩුවකට දාලා. අපේ ඉන්න මම දන්න ස්වාමීන් වහන්සේලාගේ කායික පැවැත්ම සීයට සීයයි කියලා මම කියනවා. මොකද ඒකට අවශ්‍ය ව්‍යායාම අපි කරනවා. ඒවට අවශ්‍ය උපකරණ තියෙනවා. කය කියන්නේ අපිට අයිති එකක් නෙමෙයි. නමුත් මැරෙනකම් ඒ භාණ්ඩය තියාගන්න අවශ්‍යයි නේ. වාහනේ තියාගන්න එපැයි ගමන ඉවර වෙනකන්. එනිසා මේ කය පවත්වගන්න අපිට හොඳ වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. 

 

මානසික නිදහස ගත්තොත්, ඒවා නරක අකුසල වැඩ නෙමෙයි. ඉඳලා හිටලා ගිටාර් එකක් ගහලා හොඳ සින්දුවක් කියලා ඒ තුළින් දහමත් කතා කරනවා. ඒ තුළින් කවි බණ ආශ්‍රයෙන් බණකුත් කියලා මොනතරම් සුන්දර අත්දැකීමක් අපි අත්විඳිනවද? මා කියන්නේ අපි යමක් අත්විඳෙනවාද ඔබත් එය මීට වඩා අත්විඳලා එය අත්විඳින ආකාරය අපිටත් කියාදෙන්න. 

 

ගිහියන් විදියට ඔය කට්ටියගේ ජීවිත තුළත් තියෙන්න ඕනේ පැවැත්මක්. කායික මානසික අධ්‍යාත්මික හොඳ යහපැවැත්මක් ඒ තුළ අන්තර්ගත විය යුතුයි. එතකොට මැරෙනකං ජීවත් වෙන්නේ කොහොමද කියලා කායික, මානසික, අධ්‍යාත්මික වැඩපිළිවෙළක් ඔබලා හදාගන්න අවශ්‍යයි. 

 

අපේ මානසික යහපැවැත්ම වෙනුවෙන් Mabel Beach එකට ගිහිල්ලා, එහේ දවසක් ගත කරලා එන්න අපේ කළ්‍යාණ මිත්‍රයෙක් අපට උදව් කළා. එහිදී සුවිශේෂ අධ්‍යාත්මික සාකච්ඡාවක් සිදු වණා. ඒ තුළින් බලන්න අපි කායික, මානසික සහ අධ්‍යාත්මික යන වපසරියන් තුනම එතන ගොඩනගලා තිබෙනවා. පැවැත්ම තුළ අපි පැවිදි වෙලා තිබෙනවා. 

 

මා මේ අවස්ථාවේ ස්වාමින් වහන්සේලා ගැන වැඩිපුර කතා කරන්නේ,  ගිහි ජීවිතේ ඉඳලා පසුව මේ පැත්තට ආපු අය වෙනුවෙන්. දානේ ටික පවා සද්ධාවෙන් දෙන්න ඕනා. අපි නිකං කතාවට කියනවනේ දානපතියෝ දිව්‍ය ලෝකේ යන්න හාමුදුරුවෝ රෝහල් යනවා කියලා. මටත් ආව ඔය තැන. තෙල් මිරිස් හොඳට දාලා දානේ ගේනවා. මම මොකද කළේ? මම ඒවා ගන්න එක නතර කරා. දායකයා අඥානයි කියලා මටත් අඥානයෙක් වෙන්න බැහැ. මගේ ආහාර රටාව මෙන්න මේ විදියේ ආහාර රටාවක් වෙන්න පුළුවන් නම් ඒක සෞඛ්‍ය සම්පන්නයි කියලා මා කිව්වා. ඒක සුඛෝපභෝගී ආහාර රටාවක් නෙමෙයි. සමහර විට උදේට දියබත් ටිකක් තියෙන්නේ. ව්‍යංජන දෙක තුනක් සමඟ මැල්ලුමක් වගේ සරල ආහාර වේලක්. රාත්‍රියට ගැලපෙන ආහාර වේලක්. මම ආහාර රටාව පිළිබඳ විනයක් හදලා තියෙනවා, ඔබ දෙනවනම් එහෙම දෙන්න කියලා.

 

ඉබාගාතේ දානේ දෙන්න එපා. දානේ කියන්නේ සල්ලි නෙමෙයි. දානයක් කියන්නේ සද්ධාව. සද්ධාවෙන් හිත පුරෝගෙන සම්බෝලයි බතුයි දුන්නත් ඒක තමයි හරිම දානය. ව්‍යාජන තිස් දෙකක දානයක් දුන්නත් ශ්‍රද්ධාව නැත්නම් එතන දානයක් නැහැ. Wedding වල වගේ කන්න දීමක් එතන තියෙන්නේ. 

 

එතකොට අන්න ගිහියන්ට පැවිද්දන්ට මනා පැවැත්මක් තිබෙන්න අවශ්‍යයි. ඒ පැවැත්ම තිබෙනවා නම් ජීවත් වෙනවා කියන එක මේ ලෝකෙ තියෙන සුන්දරම දේ බවට පත්වෙනවා. ඔයාලගේ ජීවිත සුන්දරයිද? සුන්දරයි නම් කමක් නෑ. රහතන් වහන්සේලා කායික මානසික සහ අධ්‍යාත්මික යහපැවැත්ම පූර්ණය කරනවා. රහතන් වහන්සේලාට කායික, ආධ්‍යාත්මික, මානසික යහපැවැත්ම විතරක් නෙමෙයි, සත්වයා වෙනුවෙන් කළ යුතු දේ කළ යුතු ආකාරයට කරන්න කියන කොටසත් ඇතුළත් වෙනවා.

 

මා බය නැතුව කියනවා, හෙට මේ රටේ ඉන්න කිසිවෙක් මගේ බණ ඇහුවේ නැති උනත් කමක් නෑ. මා චෛත්‍යය, බෝ ගස්, පංසල් හදන්නෙ නැහැ. මම හදන්නේ මිනිස්සුන්ගේ අධ්‍යාත්මය. මිනිසුන්ගේ කායික, මානසික, අධ්‍යාත්මික යහපැවැත්ම. නිවැරදි ධර්ම මාර්ගය සහ ඔවුන්ව සසර දුකෙන් එතෙර කිරීම. ඒ ගමන යන්න අවශ්‍ය සම්පත් ටික මා සැලසුම් කරනවා. ඒකරාශී කරනවා. බෙදනවා. හදනවා. මේ වෙලාවේ මේක පටිගත කරන්න මයික්‍රෆෝනය, ඒ උපකරණ, මේ පරිසරය මට පහසුවෙන් වාඩිවෙලා ඉන්න පුළුවන් තැනක් ආදි අවශ්‍ය සියල්ල ගොඩ නගනවා. හැබැයි ඒ මත මම යැපිලා නැහැ. මේ මුකුත් නැතුවත් මම දේවල් කරලා තියෙනවා. ඒ දේවල් තිබුනොත් වඩා පහසුවෙන් සත්වයාට ලොකු සේවයක් කරන්න පුළුවන්. මේ මාර්ගයට අවශ්‍ය දේ කරනවා. 

 

මිනිස්සු හැටියට අපි හැමෝම උත්සාහ කරන්න ඕනේ  අරහතුන් වහන්සේලා වැඩ සිටින ආධ්‍යාත්මික ලෝකයට පැමිණෙන්න. ඒ සඳහා සියලු ලෝක සත්වයා උත්සාහ කරන්න ඕනේ. 

 

කෙනෙකු ජීවත් වෙනවා නම්, ජීවත් වෙනවා කියන්නේ, මේ මනුස්ස ලෝකයේ ඉඳලා, එහෙම නැතිනම් තිරිසන් ලෝකයේ ඉඳලා, ප්‍රේත ලෝකයේ ඉඳලා, යක්ෂ ලෝකයේ ඉඳලා එහෙමත් නැතිනම් කුම්භාණ්ඩ ලෝකයේ ඉඳලා, අරහත් ලෝකය එහෙම නැත්නම් ලෝකෝත්තර  අරහත් ලෝකයට පැමිණීම වෙනුවෙන් වැඩ කටයුතු කිරීම හැර ජීවත් වෙනවා යැයි මනුස්සයෙකුට වෙන දෙයක් මේ ලෝකේ නැහැ. ඇයි එහෙම කියන්නේ? ඔබ කරන සියල්ල නැති වෙනවා. හැබැයි ඔබට ගමනක් තියෙනවා. ඒ ගමන ඇති වෙවී, නැති වෙවී ඔබ යනවා.  උදේ හිටපු එකා දැන් ඉන්නවනෙ වෙනස් වෙලා හරි. පොඩි කාලේ ඉපදුනු කෙනා දැන් වෙනස් වෙලා හරි ඉන්නවනේ. ඒ කියන්නේ ඔබට ගමනක් තියෙනවා. ඒ ගමන තුළ ඔබ අද දෙයක් කරා නම් ඒක අරහත් ලෝකයට යනකම් නැති වෙන්නේ නැහැ. මම කියන දේ තේරෙනවද? හිතන්නකෝ ඔබ මොනවා හරි දෙයක් කරනවා. අරහත් ලෝකයට යන්න ඒක බාධකයක්. මේ ගමන තියෙනකං ඒ බාධකය වැඩ කරනවා අරහත් ලෝකයට යන්න. ඔබ අද මේ බණ ටික අහන එක ඒකාන්තයෙන් ඔබට හේතු වෙනවා අරහත් ලෝකයට යන්න.

 

මෙන්න මේ නිසා ඔය සියලුම අයට අරහත් ලෝකයට වඩින්න කියලා ආරාධනා කරනවා. 

 

ඒ වගේම අපි යන ගමන් මාර්ගය ගැනත් යමක් කියන්න ඕනා. 

 

මෛත්‍රී බුදුවරයා සහ මහගුරු සමග යන ගමන කොච්චර දුර්ලභද කියලා කාටවත් පේන්නේ නෑ. ඒක 100% ඉදිරිය තේරුම් ගනිමින් යන ගමනක්. Vision එක, mission  එක, target  එක සහ වෙන දේ තේරෙනවා. දැනගෙනයි යන්නේ. 

 

යම් වැඩසටහනක් හරි, program එකක් හරි කරන කොට, ඒක මහගුරුගේ ලෝකයේ ඉවර වෙලා තමයි, මනුෂ්‍ය ලෝකයේ සිදුවන්නේ.

 

එක දවසක් මහගුරු තම හිතවතුන් පිරිසකට එවැනි දෙයක් පිළිබඳව පවසනවා. 2025 අප්‍රේල් මාසයේ පැවති neurophysiology program එකට ඒ වන විට හැමෝම සූදානම් වෙමින් සිටියේ. මහාගුරු ඒකට යන්න කලින් මහා සත්ව බෝධිසත්වට සහ බ්‍රහ්මට කියනවා ඒ program එක මගේ ලෝකයේ සිදුවෙලා ඉවරයි කියලා. ඒ program එක සමාජයේ විද්වතුන් සහ උගතුන් උදෙසා ප්‍රධාන වශයෙන් සංවිධානය කරපු එකක්. නමුත් මහාගුරු ඒකට කිසිම පෙර සූදානමකින් තොරවයි යන්නේ. Program එක පටන් ගන්න කලින් අසල තිබූ Japanese restaurant එකකට ගිහිල්ලා sushi, ramen, Sashimi වැනි ආහාරයක් රස විඳිමින් සිට අවසාන මොහොතේ තමයි එතනට යන්නේ. වෙනත් බොහෝ දෙනා මේ වගේ සභාවක කතාවක් කරන කොට ඒක කරන්නේ මනා පෙර සූදානමක් ඇතිවයි. නමුත් මහාගුරුගේ ලෝකයේ එහෙම දෙයක් නෑ. ආධ්‍යාත්මික ලෝකයේ කලින් සිදුවුණු දෙයක් තමයි මහාගුරු අතින් මනුෂ්‍ය ලෝකයේ සිදුවන්නේ. 

 

මහාගුරු තම හිතවතුන් පිරිසකට මෙසේ පවසනවා. මට අභියෝගය තියෙන්නේ අලුතින් ගොඩනගන්න යන  මේ නෙළුම මතු කරන්නේ කොහොමද කියන දේ. එළියේ තමයි නෙළුම පිපිලා මතුකරන්න තියෙන්නේ. එළියේ නෙළුම් මතු කරන්නට යන එක සම්බන්ධයෙන් යම් අභියෝගයක් තිබෙනවා. එළියේ ඉන්න සමහර මිනිසුන් තුළ තිරිසන් ස්වභාවයන් තිබෙනවා. ඒ අයත් එක්ක මේක එළියේ මතු කර ගැනීමේ අභියෝගයක් තියෙනවා. එළියට බහිනකොට බල්ලෝ කොහොමත් බුරනවා. බල්ලො දිහා බලන්නේ නැතුව ගමන යන්න ඕනා.  ඒ වගේම තවත් කතාවක් මා ඔබට කියනවා. අමතක කරන්න එපා බල්ලෝ උනත් එකම දේට එක දිගට බුරන්නෙ නෑ. ටිකක් බුරලා නතර කරනවා. ඒකත් අපි ඔලුවට ගන්න ඕනා.

 

අපේ ව්‍යවස්ථාවේ එකයි තියෙන්නේ, තමන් වෙනුවෙන් වැඩ කරන්න බෑ කියලා. අපි හැම වෙලාවේම අනුන් වෙනුවෙන් වැඩ කරන අය. ඒ නිසා ගොඩක් දේවල් වෙන්න තියෙනවා. එළියේ අපිට මොකුත් වෙන්නේ නෑ. ඇත්තටම මට ඒක බිලියන් sure. එහෙන් මෙහෙන් වචනයක් දෙකක් දායි ගලක් දෙකක් ගහයි. මොනවා හරි කතාවක්  කියයි. කතාවක් හදයි. බලලා යන්න එයි. කතා කරලා යන්න එයි. ඔවුන් එනකම් බලාගෙන හිටියට ම ඔවුන් එහෙම එන්නේ නෑ. මා මේ යන ගමන තුළදී අනතුරකට වැටුණොත් මා මේ ගමන නතර කරලා ඉවරයක් කරනවා. සිවුරටත් එහෙමම කියන්නේ. එහෙම එකක් වෙන්නේ නෑ. එහෙම ගමනක් අපි යන්නේ  නෑ. එහෙම එකක් නෑ. එහෙම දෙයක් වෙනවා නම්, මීට කලින් වෙනවා. සිවුරක් වගේ ඇඳුමක් ඇඳගෙන, මා පාරේ බැහැලා ඇවිදලා තියෙනවා. ඒ සියලු දේවල් අවසන් කරලා ඇවිල්ලා ඉන්නේ. ඒක අවිහිංසාවාදී ගමනක්. ලස්සන ගමනක්. ලස්සන චිත්‍රයක්. එහෙම විනාශයක් කරගෙන මා ගමනක් යන්නේ නෑ. ඇත්තටම අභියෝගයකුත් නෑ. මා හිතෙනවා අභියෝග එනකොට තමයි මේ ශක්තිය අවදි වෙන්නේ කියලා. එලියේ තියෙන පෘතග්ජන කතන්දර වලින් එහෙම කාරණාවක් මතුවෙන්න ඉඩක්  නෑ, මේ Energy level එකත් එක්ක. ඊට වැඩිය දේවල් අභිබවා ඇවිල්ලා තියෙන්නේ. 

 

අපි අවිහිංසාවාදී ගමනක් යන්නේ. මේ ලෝකේ කා එක්කවත් තරඟයක් නෑ. අපි කාටවත් රිද්දන්නෙත් නෑ. බොහෝම කරුණාවෙන් මේ දහම් කියල දෙන්නේ. අපි ආපු ගමන තුළ ලස්සන ගමනක් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ නෙළුම් පිපෙනවා වගේනේ පිපෙන්නේ. අපි මඩ නැති කරන්න යන්නේ නෑ. මඩේ තමයි පිපෙන්නේ. ශාස්තෘවරයෙක් බිහිවෙලා දර්ශනයක් බිහි කරනවා නෙමෙයි. දර්ශනයක් සහ දහම විසින් ශාස්තෘවරයාව බිහි කරනවා. මට මහගුරු තියා රහත් වෙන්නවත් ඕන කමක් තිබුණේ නෑ. මම පට්ට ආතල් එකේ ඉන්න කෙනෙක්. දැන් උනත් බලන්න මා ඉන්න විදිහ. මගේ එහෙම චරිතයක් තියෙනවා කියලවත් පේනවද?. එහෙම එකක් නෑනේ. එදත් එහෙම තමයි. මා ඉස්සර ගිහි කාලේ බිරිඳට කියනවා, මා මහණ වුණත්, මෙහෙම තමයි ඉන්නේ කියලා. මම කියන එක වචනයක් හරි වැරදි නම් හෙට මේ ලෝකේ තියෙන හෙන හතම වැදිලා හැඳි ගෑවිලා යන්න ඕනා. එහෙම එකක්වත් මේ ශබ්ද කෝෂයේ නෑ. මොකද මට රහත් වෙන්නවත් ඕන උනේ නෑ. මට ඕනෑ වුනේ මිනිස්සු වෙනුවෙන් උපරිමය මොනවද කරන්නේ කියන එක. රහත් වෙන්න වුවමනාවක් තිබ්බේ නෑ. එත් බුදු වුණා. සම්මා සම්බුදු වුණා. මෛත්‍රී බුදු වුණා. ශිව උනා. ඊට පස්සේ නටරාජ් වුණා. ඔය ශිව නටරාජ් මහාගුරු කියන අය මම කලින් දන්නෙත් නෑ. නමුත් මට තේරෙනවා. මට අවබෝධ වෙනවා. විෂයය පථය තේරෙනවා. දහම තේරෙනවා. ඒ නිසා මම කතා කරන දර්ශනය මට බිහිවෙලා. ඒ දර්ශනය කතා කරලා ඒ දර්ශනය විසින් තමා මාව බිහි කරේ. 

 

ශිව ඇවටාර් එක ඒ කාර්යය අවසන් වෙලා යනවා. ඒක වෙනකන්ම  මා ඒ බව දන්නෙත් නෑ. එක පාරටම පපුවේ වේදනාවක් ඇවිල්ලා පපුව පුරා දුකක් කම්පනයක් මට තේරෙනවා. මම බලනවා ඇයි ඒ කියලා.  ශිව ගියා කියලා කියනවා. ඇයි ඒ?  මම දන්නේ නෑ ඒක වෙනකන්ම. දර්ශනය විසින් දහම විසින් තමයි මා පත්කළේ. මා දර්ශනය බිහි කරනවා නොවෙයි. මේ කරපු කිසිවක් මට හෙට කරන්න ඕනිනි නෑ.මට කරන්න ඕනේ නෑ මට කාලා බීලා පට්ට ආතල් එකේ ඉන්න ඕනේ.මට මේ ඉල්ලං කන්න ඕනා නෑ. හැබැයි එතකොට මං මේවා කරන්නේ ඒක මගේ energy එක. ඒක මේ දහමේ අවශ්‍යතාවය.  දහම හසුරුවන්න, දහම මෙහෙයවන්න මට වුවමනාවක් නෑ. 

 

2025 මැයි 12 දින තමයි වෙසක් පොහොය දිනය යෙදී තිබුණේ. ක්‍රමයෙන් ඒ දවස එළඹුනා. මහගුරු සෙන්ටර් එක විසින් වෙසක් පොහොය වැඩසටහන ඉතා උත්කර්ෂවත් ලෙස සංවිධානය කර තිබුණා. 

 

එදින උදෑසන මහාගුරු, මහා සත්ව බෝධිසත්වයන් තවත් කීප දෙනෙක් සමග වැඩසටහනට යමින් සිටින අතර එම BMW ජීප් රථයට පාරේ සිටි වයසක අම්මා කෙනෙක් අත දැම්මා. මහාගුරු මහා සත්ව බෝධිසත්වයන් ට සංඥා කරා වාහනය නතර කරන ලෙසට. වාහනය නතර කරේ ඒ අම්මා ඉන්න තැනට මීටර් 50ක් විතර දුරින්. ඒ අම්මා වාහනය දෙසට ඉක්මනින් ඇවිද ගෙන ආවා. මහාගුරු වාහනයේ වීදුරුව පාත් කරලා අම්මාගෙන් ඇහුවා “ ඇයි අම්මේ මොකද? මොකක්ද වෙන්න ඕනා” කියලා.

 

ඒ අම්මා කිව්වා, ස්වාමීනි මම විද්‍යාවේදී උපාධි ගුරුවරියක්. Literature තමයි ඉගැන්නුවේ. ඊට පස්සේ මේ මුදල ඔබ වහන්සේ ගන්න කියලා ඇය යම් මුදලක් මහාගුරුට පිරිනමනවා. 

 

“ඔබ වහන්සේ දැක්කාම බුදු කෙනෙක් දෑක්කා වගේ. මේ සත්වයාට සසරින් ගලවන්න. මගේ එකම ප්‍රාර්ථනාව මේ භවයේ දී අඩුම ගානේ සෝවාන් පලියට පත්වීම යි.”

 

එතකොට මහාගුරුට දැඩි සංවේගයක් උපදිනවා මේ සත්වයා කොපමණ අසරණද කියලා. 

 

ඒත් එක්කම මහාගුරු ඇයට කියනවා ඔබ සෝවාන් නොවේ රහත් කියලා හිතාගන්න කියලා. 

 

මහාගුරු යක්කල නගර සභා ශාලාව වෙත පැමිණෙන්නේ මෙයින් අනතුරුවයි. නගරසභා ශාලාව පිරී සෙනඟ අසුන් ගෙන සිටිනවා.

 

මහාගුරු පිරිස අමතනවා.

“සසර කොහේ හරි දැකලා ආශ්‍රය කරලා තියෙන පුරුද්දකට මෙතන්ට පැමිණී ඔබ, කල්‍යාණ මිත්‍ර සියලු දෙනා මම ඉතාමත් ආදරෙන්, ගෞරවයෙන් පිළිගන්නවා. ඇත්තටම මම එදා 2002 කාලයේදී වගේ කැලයක් ඇතුලේ මේ ධර්මය තේරුම් ගන්නකොට මම කල්පනා කරනවා මා මේ දහම මේ පෙර නොඇසූ නොවිරූ “පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු” ධර්මය මේ සත්වයාට කියලා දෙන්නේ කොහොමද කියලා. එතකොට මම තපස් ඇඳුමෙන් ඉඳලා තමයි මේ ඒ කැලේ හිටියේ. ඒකට හේතුව, මා පැවිදි වුණේ නැත්තේ, මට ඕනා පර්යේෂණය, මට ඕනා අධ්‍යයනය, ගවේෂණය මට කරන්න සම්මුති පැවිද්ද බාධකයක් වේ කියලා.  මම තපස්  ඇදුමින් තමයි හිටියේ.  එතකොට මේ දහම තේරෙන කොට, ඒ පර්යේෂණය කරනකොට, මා මේක සත්වයාට කියලා දෙන්නේ කොහොමද කියලා මට විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. මම හිතනවා, මම ගෙවල් වල ගිහින් වැඩ කරලා, මිනිස්සු ගාවට ගිහිල්ලා වැඩ කරලා, මිනිස්සු ආශ්‍රය කරලා, මිනිස්සුන්ට මේ දහම කියලා දෙනවා කියලා. ඇත්තටම කල්‍යාණ මිත්‍රවරුනේ, මා මේ හැම එකක්ම කලා. ගෙවල් වල ගිහිල්ලා වැඩ කරලත් තියෙනවා, මිනිස්සුන්ට දහම කියලා දෙන්න. කාලයක් මම pick me දුවනවා. මට Motor spare parts   ගෙන්වා බෙදාහරින company එකක් තිබුණා, ඒ දේවල් දාලා ගිහිල්ලා, කැලේ ඉඳලා ඇවිල්ලා ඒ විදියට මිනිසුන් ගාව වැඩ කරන්න, pick me දුවන්න හේතුව තමයි, එතකොට මට පැය ගානකට මනුස්සයෙක් හම්බවෙනවා කතා කරන්න. වාහනයට නැග්ග හැම මනුස්සයෙක්ම බහිද්දී මා ඔවුන්ව වෙනස් කරනවා. කාලයක් ඒක කරන්න ගෙවල් ගානේ ගිහිල්ලා බණ කිව්වා. ඉතින් මට අද මේක කියන්න, අද මෙතෙනට පැමිණි ඔබට මා ස්තූති කරේ ඒ නිසායි. මේක ඔය කට්ටිය අහන එක හෝ නොඅහන එක මට වෙනම කතාවක්. හැබැයි, මේ කතාව පොඩ්ඩක් අහන්න. මේ එක තැනකවත් සුරංගනා කතාවක් නැහැ. මහ පොළොවේ පය ගහලා වැඩ කරලා, ඒ මත අත්දැකීම් වලින් ගොඩ නැගිච්චි කතාවක් තියෙන්නේ . අදටත් සාක්ෂි තියෙනවා. ඒවා මැජික් කාරණා නෙවෙයි. ඉතින් මේ කතාව අහන්න, මේ ධර්මය අහන්න ඇවිත් ඉන්න, මොකක්ද මේ කියන්නේ කියලා බලන්න මෙතෙන්ට පැමිණි ඔබ සියලුම දෙනාට ඒ වෙනුවෙන් මා ස්තූතිවන්ත වෙනවා කල්‍යාණ මිත්‍රවරුනි.

 

අද මෙතන මේ වෙලාවේ මේ ශාලාව ඇතුළේ මම හිතනවා, උපරිමය හාරසිය ගානක් ඇති කියලා. අපි කතා කරමු මේකේ ඇතුළේ ඉන්න මේ හාරසියදෙනා ගැන. ඒ කියන්නේ ඔබ ගැන. දවසක රහතන් වහන්සේ නමක් පහළ වෙනවා නම් මේ ලෝකයේ, ඒ රහතන් වහන්සේ ඔය පුටුවේ වාඩි වෙලා ඉන්න බැරිද ? කවදා හරි දවසක මේ ලෝකයේ සම්මා සම්බුදුවරයෙක් මේ මොහොතේ ඔය පුටුවේ වාඩි වෙලා මොනවද මේ කියන්නේ කියලා අහලා කල්පනා කරමින් ඉන්නවා වෙන්න බැරිද ? ඔබලා අහලා තියෙනවද දන්නේ නැහැ සත්බුදුවරු කියලා, තවත් බුදුවරු කොට්ඨාසයක් ඉන්නවා. ඒවා ගැන සමාජයේ කතා කරනවා අඩුයි. නමුත් අපි කතා කරලා තියෙනවා. මෙන්න මෙහෙම සත් බුදුවරයෙක් පහළ වෙන්න පුළුවන්ද, සත් බුදුවරයෙකුත් ඔය පූටුවේ වාඩි වෙලා ඉන්නවා වෙන්න බැරිද? පුළුවන්. බුදු වුනේ කවද හරි දවසක මේ ලෝකේ මනුෂ්‍යයෙක්නේ. බුදු වෙන්න පුළුවන් කියලා ඔබට හිතිලා තියෙනවද ? මටත් දවසක මේ අසූ මහා ශ්‍රාවකයෝ වගේ මහ රහතන් වහන්සේ නමක් වෙන්න පුළුවන් කියලා ඔබට හිතිලා තියෙනවද ? රහත් වෙන්න පුළුවන් කියලා ඔය කට්ටියට හිතිලා කියනවද ? මේ භවයේ මට රහත් වෙන්න පුළුවන් කියලා ඔබට  හිතිලා තියෙනවාද ? හිතෙන්න ඕනී. මොකද මේ කාරණා දිව්‍ය ලෝක වල අටනිට්ටා බ්‍රහ්ම ලෝක වල සිද්ධ වූ සිද්ධියක් නෙවෙයි. මේක මේ මහ පොළොව තුළ මනුෂ්‍ය උප්පත්තියක් ලබලා, මනුෂ්‍ය ලෝකය තුළ සිද්ධ වුණු සිද්ධියක් නිසා. ඒ නිසා අඩුම තරමේ ඔබට අහන්න බැරිද ඇයි මටත් දවසක බුදු වෙන්න බැරිද කියලා. ඔබ කණ්නාඩිය ඉස්සරහට ගිහිල්ලා  කණ්නාඩිය දිහා බලාගෙන ඔබත් රහත් වෙනවා නේද කියන එක බලන්න. 

 

මේ ස්වභාදහම ඔබට කරන දැවන්ත මුලාවක් මා පෙන්වන්නම්. දැන් අපි මළපහ කරන තැන් තියෙන්නේ පිටිපස්සේනේ. ඉස්සර නම් අපි කියන ටොයිලට් එක තියෙන්නේ ගෙදර පිටිපස්සේ. දැන්නම් ටොයිලට් එක වෙනම කලාවක් විදිහට හදලා. අපි පුරුදු කරලා තියෙන්නේ අපේ සුන්දර දේම දකින්න. කෑරලා දාන කෙලපිඩක් දකින්න අපි පුරුදු කරලා නැහැ.  මළ ගෙදරක ගියහම එතන පුංචි ප්‍රිය සම්භාසන උත්සවයක් පැවැත්වෙනවා මිසක් මළ ගෙදර අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ධර්මතා තුන වැයෙන්නේ නැහැ. බලන්න, මම කියන්නේ බොරුද කියලා. මළ ගෙදර ප්‍රිය සම්භාෂන උස්සවනේ තියෙන්නේ, මිනිය ඉස්සරහින් තියාගෙන. බණ ගෙදරත් එහෙම තමයි. ඔබට මේ සසර කොහේ ඉදන්ද ආවේ කියලා පේන්නේ නැහැ. කරන කුසලය, අකුසලය, පින පවේ විපාකය පෙනෙන්නෙත් නැහැ. සත්‍යය සගවලානේ තියෙන්නේ. මේ ස්වභාදහම සත්‍ය සඟවලා තියෙන්නේ. නැද්ද කියලා කල්පනා කර බලන්න. මැණික්, දියමන්ති, රත්තරන්, පොළොව යට තියෙන්නේ. සඳුන් ගහක් හොයාගන්න කොච්චර අමාරුද ?. එහෙනම් පොඩ්ඩක් හිතන්න. සත්‍යය සඟවලා තියෙන්නේ. මම ඔය කට්ටියගෙන් අහනවා තව ප්‍රශ්නයක්. මේ සත්‍ය කොහෙද සගවලා තියෙන්නේ ? පුළුවන් නම් දෙන්න උත්තරයක්?  

 

“තමා තුළ “ 

 

ශාලාවේ ඉදිරිපස අසුන්ගෙන සිටි කෙනෙක් පිළිතුරු දෙනවා.

 

ඔව්.

 

සත්‍යය සගවලා තියෙන්නේ තමන් තුළ. ඔය තමන් කියන කොටස තුළ හිතක් තියෙනවා, සිහියත් තියෙනවා, මනසක් තියෙනවා, ඔක්කොම තියෙනවා තමන් තුළ. සත්‍ය සගවලා තියෙන්නේ කොහෙද? තමන් තුළ.

 

දැන් සිහියට වුනත් කෙනෙක් අහු වුනොත් එතනත් අසත්‍ය තමයි. සිහිය දුන්නේ බලන්නනේ. දැන් ඔය කට්ටියට ටෝච් එකක් දෙනවා කළුවරේ යන්න. ඇයි ටෝච් එකක් දීලා තියෙන්නේ ? කළුවරේ යන කොට දල්වාගෙන යන්න. එතකොට පාර බලාගෙන වැටෙන්නේ නැතුව යන්න පුලුවන්. ඒකට තමයි සිහිය දීලා තියෙන්නේ. ඔබට සිහිය හම්බ වුණහම එක අහු වුනා කියලා සිහිය මගේ කරගෙන හිටියොත් පාර පේනවාද ? නැහැනේ. සිහිය වුනත් මගේ කරගත්තොත් පාර පේන්නේ නැහැ. තමන් තුළින් කියලා ඒ සිහිය වුනත් තමන්ගේ කරගත්තොත්  පාර පේන්නේ නැහැ. එහෙනම් ධර්මය වුනත් තමන් කරගත්තොත් පාර පේන්නේ නැහැ.

 

දැන් ඔබ වාඩි වෙලා ඉන්න පුටුවේ, වාඩි වෙලා ඉන්න තැන පේනවද? නැහැනේ. නැගිටිලා අඩි දෙක තුනක් ඉස්සරට ආවොත් එතන පේනවා. 

ඔබට තව උදාහරණයක් කියන්නම්.

 

ඔබේ අත මුහුණ ළඟටම කරගන්න. දැන් අත පේන්නේ නැහැ. දැන් අත ඈත් කරගන්න, එහෙම ඈත් කරනකොට නේ පෙනෙන්නේ. ඒක තමයි කායනුපස්සනාව කියන්නේ, වේදනාව පැත්තකින් ඉඳන් බලන්න තියෙන්නේ. සිතුවිල්ල මම කරගන්නේ නැතුව සිතුවිල්ල එළියෙන් බලන්න තියෙන්නේ. රූපය එළියෙන් බලන්න තියෙන්නේ. ශබ්දය එළියෙන් අහන්න තියෙන්නේ, මම කරගන්නේ නැතුව. අද ඒක නෙවෙයි පැහැදිලි කරන්න යන්නේ.

 

මේ සත්‍ය සඟවලා තියෙන්නේ තමන් තුළ. මම ඔබව මෙහි තරමක් ගැඹුරට අරගෙන යනවා. හොඳ සිහියෙන් අහන්න. මම කියනවා සත්‍යය තමන් තුළ තමයි සගවලා තියෙන්නේ කියලා. දැන් මම මෙහෙම කතාවක් කියනවා සත්‍ය මේ වීදුරුව තුළ සඟවලා තියෙනවා කියලා කියනවා. ටිකක් ගැඹුරට යන්න. මම සත්‍යය මේ ටිෂූ එකේ සඟවලා තියෙන්නේ කියලා කියනවා. සත්‍යය ඔබ වාඩි වෙලා ඉන්න පුටුවේ සඟවලා තියෙන්නේ කියලා කියනවා. මොකක්ද මේක එතකොට. තමන් තුළ සත්‍යය තියෙනවා නම්, වීදුරුව තමන් නෙවෙයිද? මොකක්ද ඇත්ත කතාව. අර පල්ලෙහා කඩේ වීදුරුවක් කැඩුනොත් ඔබට අදාලද ඒක? අදාලම නැහැනේ. සමහරවිට දැන්නෙත් නැහැ. හැබැයි වීදුරුව මගේ කරගෙන එද්දී, වීදුරුව මගේ වෙලා තියෙද්දී මේ වීදුරු ගැන තේරුම් ගන්න ගියොත් තේරෙන්නේ කා ගැනද, තමන් ගැන. තමන් ගැන තේරෙන්නේ. ඔබ සෙරෙප්පු  දෙකක් දාගෙන ආවා. ඔය සෙරප්පු දෙක නැති වුණා, ඔබට දැනෙනවා. ඔබට බලපෑමක් එනවා. 

 

උදාහරණයක් ගනිමු. හැමෝම හිතන්න ඔබේ සෙරෙප්පු දෙක එළියේ කියලා ආවා ඔබ එළියට යනකොට සෙරෙප්පු දෙක නෑ කියලා.  මම ඔබෙන් අහනවා මේ සෙරෙප්පු දෙකට පුළුවන්ද ඔයාලාගේ  හිත රිද්දන්න කියලා. මම අහනවා මේ සෙරෙප්පු දෙකෙන් ඔබට දුක හිතවන්න පුළුවන්ද කියලා. ඔබට සතුටු හිතවන්න පුළුවන්ද කියලා. ඔබට ප්‍රීතිය ඇති කරවන්න පුළුවන්ද කියලා. ඔබේ හිතට ඒ තරම් බලපෑමක් කරන්න පුළුවන්ද කියලා සෙරෙප්පු දෙක පෙන්නලා අහනවා. හරි මම හිතන්නේ ඔබට ගොඩක් දෙනෙකුට මේ කතාව කියනකොටම තේරිලා ඉවරයි. මේ සෙරෙප්පුවකින් මගේ හිතට සතුට, දුක, මට බලපෑමක් කරන්න බැහැ., ප්‍රශ්නයක් කරන්න බැහැ කියලා අපිට කියන්න පුළුවන් නම් හොඳයි. හැබැයි, බලන්න ඔය සෙරෙප්පු  දෙකට පුළුවන් නේද ඔබට දුක ඇති කරවන්න. ඇවිදගෙන යනකොට එකපාරම සෙරෙප්පු දෙක කැඩිලා ගියොත්? ඒ කියන්නේ ඔබ ඉන්නේ භෞතිකයත් එක්ක. බල්ලෙක් ඇවිත් ගෙදර කුස්සියේ තියෙන දැලි ගැවුණු රෙදි කෑල්ල අරන් දුවනවා. අපි බල්ලාව එලවනවා. මොකද මේ බල්ලා කුණු රෙදි කෑල්ලක් අරන් ගියා කියලා. එතකොට  අපිට ඒ කුණු රෙදි කෑල්ලත් සතුට, දුක, වේදනාව ගෙනල්ලා දෙන මට්ටමට තමන් වෙලා නේද? මම කිව්වේ සත්‍යය තියෙන්නේ තමන් තුළ කියලා. ඒ කුණු රෙදි කෑල්ල තමන් වෙලා නැද්ද ?  ඔබ ඔබේ  ඇතුලට යන්න. මම මේ කියන ඒවා අහලා ඔබේ ඔබේ  ඇතුලට ගිහින් ස්පර්ශ කරලා සංවේදී කරගෙන බලන්න මේ කියන ඒවා ඇත්තද කියලා. මේ වෙලාවේම පරීක්ෂා කරලා බලන්න. එහෙම තියනවාද,  එහෙනම්, ඒ කුණු රෙදි කෑල්ලෙත් තමන් කොහේහරි තැනක පැටලිලා තියෙනවා. එහෙනම් අපි ඒ විදිහට ගොඩක් දේවල් වල පැටලිලා ඒ බොහොමයක් දේවල් තමන් වෙලා තියෙන්නේ. සිතුවිල්ලත් තමන් වෙලා. මතකයත් තමන් වෙලා. උගත්කම, සල්ලි තමන් වෙලා. සමාජ තත්වය, කුලය, තමන් වෙලා. රට ජාතිය තමන් වෙලා. දැන් රට ගැන කියලා බැන්නොත් රිදෙනවා. ඇයි තමන් වෙලා. කුණු රෙදි කෑල්ලේ පටන්, මම මේ ඔබට ඔබ ගැන කියලා දෙන්නේ. මම මේ ඔබව සුද්ධ කරන එකයි කරන්නේ. සිතුවිලි තමන් වෙලා, අපි කියන්නේ ඒක මට හිතුණු දේ කියලා. හිතුණු දේත් මගේ කරගෙන. ඇතිවෙලා බිඳිලා යන මේ සිතුවිල්ලත් තමන්ගේ කර ගෙන. කොච්චර නම් තමන්ගේ වෙලාද කියලා කල්පනා කරගෙන ගියොත් ටිකක් භය හිතෙන්නත් බැරි නෑ. එතන තමයි පින්වත්නි, සසර භය කියන එක ඇත්තටම තියෙන තැන. එහෙම නැතුව ලෙඩ වෙනවා කියන එක භයක් නෙවෙයි. ඔතන නෙවෙයි භය තියෙන්නේ, මරණයෙත් නෙවෙයි ඊට වැඩි ගැඹුරු භයක් ඇතුලේ තියෙනවා. ඔබ දැක්කොත් කොච්චර මගේ වෙලා තියෙනවද කියන දේ. 

 

අපගේ ශාන්ති නායක තථාගත අමාමෑණී ලොව්තුරා සම්මා සම්බුදුරජානන් වහන්සේ, බෝසත් වියේදී රජ මැදුරක, අපි අහලා තියෙනනේ නළගනන්ගේ විකාර දැක්ක කියලානේ.  මොකක්ද ඒ දැක්ක නළගනන්ගේ විකාරය ඔබ හිතලා තියෙනවද? දැන් මේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක ඉදන් පාරමී, උපපාරමී, පරමත්ථ පාරමී පුරාගෙන ආපු මහා බෝසතා ඔය  කට්ටිය හිතනවාද මේ ගෑණුන්ගේ අඩ නිරුවත් දැකලා, බීලා මිනිස්සු වැටිලා ඉන්නවා දැකලා කළකිරුනා කියලා. මේ තරම් දුරඥානයක් තියෙන කෙනෙක්, මහ බෝසතා. ටිකක් කල්පනා කරන්න.  අපිට උන්වහන්සේ තරම් ගැඹුරු තැනම ස්පර්ශ කරන්න බැරි වෙයි. නමුත් අපි සෑහෙන දුරකට ගැඹුරින් බලමු.  දැන් ඔය කට්ටිය ලෙඩෙක්, මහල්ලෙක්, මළ මිනියක්, පැවිදිරුවක් කියන මේ දේවල් කී වතාවක් දැකල තියෙනවාද? ගියාද  ගිහි ගේ අත් හැරලා?  නැහැනේ. එහෙනම් මතක තියාගන්න ඔය කියන පැවිද්දා හෝ  මහළු හෝ ලෙඩ කෙනා නෙවෙයි උන්වහන්සේ දැක්කේ. ඊට වඩා ගැඹුරු එකක්. අපිත් ඒ ගැඹුරු එක දැක්ක නම් අපිත් අනිවාර්යයෙන් යනවා. තාම මෙහෙම ඉන්නේ මොකද අපි ඒක නෙවෙයි දැක්කේ. 

 

තවත් කතාවක් ඔබට මා  කියන්නම්. දැන් අංගුලිමාලට බුදුරජාණන් වහන්සේ කියනවනේ “මම නැවැතිලා ඉන්නේ, ඔබ නවතින්න” කියලා. ඔබත් ගිහිල්ලා කියන්නකෝ මනුස්සයෙකුට “නවතින්න” කියලා. ඔහු සසරින් නතර වෙයිද ? නැහැනේ. එහෙනම් බුදු හාමුදුරුවෝ මේ නවතින්න කියලා කිව්වේ අපි හිතන නවතින්න කියන වචනය නෙවෙයි. ඊට වඩා මහා විශාල ගැඹුරක් තියෙනවා. අංගුලිමාලගේ සසරට තමයි උන්වහන්සේ නවතින්න කිව්වේ. එහෙනම්, ඒක ඒ තරම් බලවත් නැද්ද? ඒ තරම් දුර සර්වඥතා ඥානය තුළින්, ගැඹුරු ඥාන ශක්තියකින් දැකලා තමයි නවතින්න කියන්නේ. මේ මිනිසුන් දහසකට වඩා මරලා ඇඟිලි 999ක් තියාගෙන ඉන්න කෙනා නවතිනවානේ.  පොඩ්ඩක් හිතන්න, එහෙනම් මහාබෝසතා ඒ නළඟනන්ගේ විකාර දකිනවා. අපි මොකද කරන්නේ? අපි විකාර හොයනවානේ. අපි විකාර හොයාගෙන යන්නේ. නමුත් උන්වහන්සේ විකාර දකිනවා. 

 

මම පුංචි කතාවක් කියන්නම්. නළඟනන් නම් විකාර විදිහට දැක්කේ, ඒ නළඟනන් ටික එලවලා දාලා රජ මැදුරේ හොඳට ඉන්න තිබුණනේ. රජ මැදුරත් විකාරයක් විදිහට දැනෙනවා තව මාලිගයකට යන්න තිබුණනේ. සියල්ලම විකාර නම් කැමති විදියට එකක් හදාගන්න තිබ්බානේ, කැමති විදිහට නිර්මාණය කරගෙන ඉන්න තිබුණනේ. මම  පුංචි කාරණයක් මතු කරන්නම්, ධර්මතාවයක් විදිහට. ඔබ හොයන්න යන්න එපා, ඒකමද දැක්කේ කියන එක. ඔබ ඉන්න තැනින් ගැලවෙන්න නම් මෙතන තියන ධර්මතාවයට අවධානය දෙන්න. හඳ පෙන්නද්දී අත දිහා බලන්න එපා. පෙන්නුවේ මොකක්ද කියලා බලන්න. 

 

මම ඔබෙන් අහනවා, ඒ වෙලාවේ විකාරත්වයට පත්වෙලා හිටියේ නළඟන්ද, උන්වහන්සේගේ හිතද ? ගැඹුරු ප්‍රශ්නයක්. ඔබේ හිත විකාරයට පත් වෙන්නේ නැද්ද? පත්වෙනවනේ. ඒ විකාරයට පත්වුන හිතයි දැක්කේ. උන්වහන්සේ දාලා ගියේ, මේ විකාරයට පත්වෙන හිත. විකාර වෙන හිත, විකාර වෙලා තියෙන මේ මම, මගේ කරවන හිත, ගලවලා අයින් කරලා දානවා. මේක මහා දුකක් කරුමයක්. මෙන්න මේ විකාර හිත ගලවලා ඉන්න බලන්න. උදේ ඉඳන් හවස් වෙනකන්, හවස් වෙලා පසුදා උදේ වෙනකම් මේ හිත මේ විකාර දේවල් හොය හොයා යනවා නේද? මේ විකාර හිත එක තැනක තිබ්බට තියෙනවද? මොන තරම් චංචලද? දුක සතුට සියල්ලම කුණාටුවක් වගේ දෝලනය වෙනවා නේද? එහෙනම් මේ විකාර හිතයි දැක්කේ. මම කියන්නේ ඔබ මේ මොහොතේ ඔබේ විකාර හිත දකින්න. මේ වෙලාවේ මේ බණ කියද්දී කීයක් ජාති හිතෙනවද? මේ දහමට ප්‍රතිවිරුද්ධව. මොකද මුලාව කියන එක තියෙන්නේ මේ හිතේ. හිත කියන්නේ තනිකරම මුලාවක්. හිත කියන්නේ දැවැන්ත මුලාවක්. මම මේ මුලාවක් කියන දේ බුදුහාමුදුරුවෝ ලස්සනට පැහැදිලි කරනවා. හිත කියන්නේ මිරිගුවක්. හිත කියන්නේ මායාවක්. හිත කියන්නේ මුලාවක්. මෝහය කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි, මෝහය කියන්නේ හිතම තමයි. මතක තියාගන්න මේ හිත දියුණු කරන්න බැහැ. දියුණු වෙනවා නම් දියුණු වෙනනේ මොකක්ද මෝහය තමයි දියුණු වෙන්නේ. “ සචිත්ත පරියෝ දපනං” හිත කඩලා දාන්න බිමට.

 

අපේ නෙවිල් ගුරුතුමාට මම  කියනවා මෙතන වාඩිවෙලා බුද්ධ වන්දනාව කරන්න කියලා. පුටුවක් ගෙනල්ලා තියලා එකේ වාඩි වෙන්න කියලා කියන්න තිබුණා. මම හිතින් එයාට කියනවා, ඔයා මගේ පරණම යාළුවානේ. කැලේ ඉන්න තැන ඉඳන්ම එයා ළඟ සිටියා. බිමින් වාඩි වුණාම ආයි වැටෙන්නේ නැහැ. බුදු වෙන්නත් බිම වාඩි වෙන්න වෙනවා. ඔතන තමයි හරි. මේ මම වාඩි වෙලා ඉන්න පුටුව ඕන වෙලාවක කැඩිලා යනවා. හැබැයි බිම වාඩි වෙලා ඉන්න කෙනෙක් බිමින් වට්ටන්න බැහැ. ඒ නිසා ඔතන තමයි හරි. ඔතන වාඩි වෙන්න. මේ ආසනේ බොරු එකක්. දැනගෙන වාඩි වෙලා ඉන්නේ. මම මේක දිහා ඇත්තටම බැලුවේ නැහැ. ඇවිල්ලා වාඩි වුනා විතරයි. මේක බොරු එකක්. ඕක තමයි හරිම ආසනය, බිම් වාඩි වෙන එක. එතකොට මොකක්ද මම පෙන්නුවේ. මේ විකාර හිත මුලාවට පත් වුණු හිත. මේ හිත දමනය කරලා බිමින් තියන්න ඕනා. “සචිත්ත පරියෝ දපනං” මේක දමනය කරන්න, හිත දමනය කරන්න පුළුවන් හොඳම අවිය මොකක්ද? ඔබට මොකද හිතෙන්නේ? ඒ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න.

 

මොකක්ද හිත දමනය කරන්න පුළුවන් හොඳම අවිය? 

 

දම් සභා මණ්ඩපයේ සිටි කෙනෙකු ඒ වෙලාවේ කියනවා, සිහිය තමයි හිත දමනය කරන්න පුළුවන් හොඳම අවිය කියලා. 

 

මහාගුරු මෙහෙම කියනවා.

 

හැම එකටම උත්තරය විදියට සිහිය කියන්න එපා. කොහොමද  සිහියට පේන්නේ.  මේ අම්මා වරදින්න හරි උත්තරයක් දෙනවා. මම සමහරවිට කියනවා නැහැ ඒක වැරදි කියලා කියලා. හැබැයි මේ අම්මා ලොකුකම තිබ්බා නම් උත්තරයක් මේ සභාවේ කියන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ අම්මා නිහතමානීයි. අම්මා වරදින්න හරි කියනවා. අවබෝධය නෙමෙයිද හම්බ වෙන්නේ. අනිත් කටිටිය උත්තර දෙන්න බයයි මොකද වැරදුනොත් ලැජ්ජයිනේ. එතකොට ඒ  වාඩිවුනේ නිහතමානී ආසනයේ.

 

හිත දමනය කරගන්න,  මානය නැති කරගන්න තියෙන හොඳම ටූල් එක, හොඳම ආයුධය වෙන මොකක්වත් නෙවෙයි, නිහතමානීත්වය. එතකොට බුදුහාමුදුරුවෝ බුදු වෙන්න  වාඩි වුනේ නිහතමානී ආසනයේ.  ගහක් මුල වාඩි වුණේ. ඇයි බැරිද,  හොඳ ආසනයක් ගෙන්න ගන්න. හොඳ ඇඳක් ගෙන්නගන්න බැරිද රජමැදුරෙන්. නිහතමානීකම තමයි පින්වත්නි, හිත දමනය කරන්න තියෙන හොඳම දේ. ඊට වඩා එකක් නැහැ. පොඩ්ඩක් හිතන්න, ඔබ මොනවාහරි කියද්දී, ඔබට මොනවා හරි හිතිලා ඒ දෙය කරගෙන යද්දි කවුරු හරි කෙනෙක් විරුද්ධ වෙනවා. එතකොට හිතෙන්නේ මොකක්ද අපිට පරාජ වෙන්න හිතනවාද ? නැහැනේ. තමන්ගේ මතයම ගේන්න හිතෙනවානේ. “නැහැ. එහෙම වෙන්නේ කොහොමද මේක තමයි හරි” කියලා හිතන්නේ.  ඇයි ඒ?  මානය නිසා. එතකොට “හරි.. හරි.. ඔයාට එහෙම හිතෙනවා නම් ඉතින් කමක් නැහැ.” කියලා හිතන්න පුළුවන් නම්? නියහතමානී වෙන එයාද දිනුම් ? අරයද දිනුම්?  මේක පටිසෝතගාමී මාර්ගයක්. අද වෙසක් දිනයේදී ඔබත් නිහතමානීත්වය වපුරගන්න.

 

දවසක් මම අපේ ළඟම ඉන්න  කළ්‍යාණ මිත්‍ර භද්දිය ස්වාමීන් වහන්සේට කියනවා, “පාපිස්සක් වෙලා ඉන්න” කියලා. ඒ කියන්නේ ඔය පාපිස්ස උඩින් තමයි මිනිස්සු මෙහාට එන්න ඕනත්, මෙතනින් යන්න ඕනත්. ඒකට ඔබ පාපිස්සක් වෙලා ඉන්න කියලා. ඒ තුළ මම ලොකු ධර්මතාවයක් පැහැදිලි කරනවා. 

 

“සචිත්ත පරියෝ දපනං” කියලා කියන්නේ ඔබේ හිත දමනය කරනවා කියලා. එතකොට අපේ හිත  හොඳට අනලා පදම් කරපු මැටිගුලියක් වගේ. ඒකෙන් ඕන එකක් අඹන්න පුළුවන්. හැබැයි, එහෙම කියලා මොනවටත් අහු වෙන මෝඩ නිහතමානීකමක් නෙවෙයි. මෝඩයෙක් නෙවෙයි. අවබෝධය තුළ, ධර්මය තුළ තමයි ඒක වෙන්නේ. 

 

මම දවසක් අපේ කළ්‍යාණ මිත්‍රයන්ට දේශනාවක් කරනවා, බෝසතුන් හතර පස් දෙනෙක් ගෙනල්ලා තරඟයක් තියෙනවා, දුවල ගිහිල්ලා අන්න අරක අරන් ආවොත් ඔබ දිනුම් කියලා. දැන් බෝසතුන් පස්දෙනා මොනවා කරයිද? එක්කෙනෙක්වත් දිනන්න තරඟ කරන්නේ නැහැ. වෙන අය දිනවන්න දඟලනවා මිසක්, තමන් දිනන්ට දඟලන්නේ නැහැ. අන්න  ඒ තරමට නිහතමානියි. එහෙනම් පින්වතුනි, “සචිත්ත පරියෝ දපනං” කරන්න, හිත දමනය කරන්න තියෙන හොදම tool එක තමයි නිහතමානීත්වය. එහෙනම්,  ඔය විකාර වූ හිත, මේ හිත නැති කරන්න කලින් ඒක දමනය කරගන්න ඕනා. දැන් අර සටනකදී කෙනෙක් පරාජය කරන්න කලින් සටන තුළදී  ඔහුව හතිවට්ටලානේ දමනය කරන්නේ. හිත නිහතමානිකමෙන් දමනය කරන්න හරිම ලේසියි. බුදුහාමුදුරුවෝ කොච්චර නිහතමානීද කිව්වොත් පාත්තරය අරන් ගෙයක්, ගෙයක් ගානේ පිඩුසිඟා යන්නේ මොකටද? පොඩ්ඩක් හිතන්න, ඒකට අපි කොච්චර නිහතමානී වෙන්න ඕනේද කියලා.  ඔය නිහතමානීකම කියන එක මේ බෞද්ධ සමාජය තුළ නැතිම තැන කියන්නද කොතනද කියලා. බෞද්ධ සමාජය තුළ නිහතමානීකම නැත්තෙම භික්ෂූන් වහන්සේලා ගාව. මේ සිවුරත් එක්ක ගහනවා මාන්නයක් ඔළුවට. ඒ අය ඉවරටම ඉවරයි ඒ නිසා. හැබැයි මානය පරාජය කරන්නට තියෙන හොඳම තැනත් සිවුර තමයි. මිනිස්සු වඳිනවා, ගරු කරනවානේ පුදුම ගෞරවයකින්. ඕක ඔලුවට ගැහුවොත්  ඉතින් නයා ඔලුවට ගැහුව වගේ තමයි. ඒ නිසා බලන්න ඔබ ධනයට මත් වෙලාද, මාන්නයට පත්වෙලාද ,රූපයට මාන්නක්කාර වෙලාද, දැනුමට මාන්නක්කාර වෙලාද, කුලයට මාන්නක්කාර වෙලාද, දහමට මාන්නක්කාර වෙලාද කියලා. සමහර අය දහමෙන් මාන්නයට පත් වෙලා ඉන්නවා. දහම දැනගත්තා කියලා එකක් ඇත්තටම නැහැනේ. සබන් ගාල සෝද ගත්තා වගේ දෙයක් වෙන්න ඕනා දහම තුළ වෙනදේත්. සමහර කට්ටිය දහමෙන් පුදුම මාන්නයක් හදාගන්නේ. තමන් තමයි දන්නේ, මට විතරයි තේරුනේ, මේක විතරයි හරි, මේ විදියට දහම මාන්නය හදාගන්නවා. ඇත්තටම දහමෙන් තේරුම් ගන්නේ මොකක්ද මම කියා කෙනෙක් නැත, මගේ කියා කිසිම දෙයක් නැත, අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලානේ. මෙතන අපි රැවටිලා ඉන්නේ. මෝහයකට පත්වෙලා ඉන්නේ. බොරුවකට අහුවෙලා ඉන්නේ. “සුවිසුද්ධං අහෝසි” නම් මොකුත් තියෙන්න බැහැනේ. එතකොට දහමේ ඉන්න කෙනෙකු මාන්නයට පත්වෙන්න පුළුවන්ද? බැහැ. එහෙනම්, දහම නෙවෙයි අල්ලගෙන තියෙන්නේ වෙන මොකක්හරි එකක්.  මේ කනට ගැහුවොත් අනිත් කනත් අල්ලන්න පුළුවන් වෙන්න ඕනා. ඇයි?  වැරැද්දක් තියෙනවා නම් හදා ගන්න. එතකොට පහර වදින්නේ මාන්නයට. “සචිත්ත පරියෝ දපනම්…” මම මේ කියන්නේ හිත දමනය කරගන්න වැසිකිලිය ගාව පාපිස්සක් වගේ වෙන්න. සිත දමනය කරන්න. මතක තියාගන්න දමනය වුණු හිත තමයි සිහියට ගෝචර වෙන්නේ. එහෙම නැත්නම් සිහියයි, හිතයි කියලා හිතාගෙන ඉඳලා තියෙන්නේ මොකක් හරි මනසින් මවාගත් කතාවක්. මනසින් හදාගත්ත එකක්. එහෙම නැත්නම් දැනුමක්. එතකොට ඇත්තටම සිහිය අහුවෙන්නේ නැහැ.  අහලා තියෙනවාද, මේ සිත කොච්චර වේගවත්ද කියලා, අපි නිකන් කතාවට කියනවනේ මේ ලෝකේ වේගවත්ම දේ “හිත” කියලා. මේ තරම් වේගවත් හිත slow කරන්නේ නැතුව බලාගන්න පුළුවන් කියලා හිතනවාද සිහියට? බැහැ. බොරු කතාවක් කියන්නේ. කොහේ හරි පොත් කියවලා, කොහේහරි මනෝ ලෝකයට ගිහිල්ලා කතාවක් හදාගෙන මෙහෙමයි කියලා හිතාගෙන කියනවා. එච්චර වේගවත් හිතක් කොහොමද දකින්නේ. ටිකක් කල්පනා කරලා බලන්න. 

 

ඇත්තටම ඒ හිත නෙවෙයි දැකලා තියෙන්නේ මතකය. දැන් ඔබට දුව හෝ පුතා මතක් කරගන්න බැරිද? ඔබට තරහ ගිය අවස්ථාවක් මතක් කරගන්න බැරිද? ඒ  හිත නෙමෙයි බලන්නේ.  තරහ ගිය අවස්ථාවක් මතකයේ තියෙනවා. මතකය තමයි ඔය සිහියෙන් බලන්නේ.  මේ මොහොතේ බිඳි බිඳී යන හිත දකින්න පුළුවන්ද සිහියට? පුළුවන්. හැබැයි ඒ දමනය  කලොත් පමණයි. දමනය කරපු හිතට තරහ එනකොට පේනවා. තරහ නැගගෙන එනවා සිහියට පේනවා. කෙලේසයකට යන්න සිත දඟලනවා, දෘෂ්ටියකට, රාමුවකට යන්න හදනවා, එක එක ලෝක හදන්න දඟලනවා, මේ හිත මේ පේනවා, මොකක්ද මේ වෙන්න යන්නේ, කොහෙටද මේ යන්න හදන්නේ කියලා පෙනෙන්න පටන් ගන්නවා.  හරිම සරලයි. නිහතමානීකමෙන් සිත දමනය කරන්න. ඔය නිහතමානීකමට තමයි, ගිහි ගෙයින්, රජ මැදුරෙන් ගිහිල්ලා, ආභරණ සියල්ලම ආපහු යවලා, කහ වතක් දාගන්නේ.  ඒ කියන්නේ මේක කොහෙටවත් නැති එකක් කියන එක තමයි, එදා අර්ථවත් වුණේ. අද මේකට වටිනාකමක් ලැබිලා තියෙනවනේ. එදා වටිනාකමක් තිබුනේ නැහැ. ඒ නිසා තමයි කොහේ හරි ඉදලා, කොහේහරි ගහක් මුල ඉඳලා, අම්බලමක ඉඳලා, දානය ටිකක් හොයාගෙන , අධ්‍යාත්මය දියුණු කරමින් හිටියේ. එදා තිබුනු පල්ලෙහාම තැන. ඉතින් නිහතමානීත්වයට ආවට පස්සේ ඔය හිත දමනය වෙන්න පටන් ගන්නවා.  මේ හිත හොඳට සිහියට පෙනෙනවා. කොහෙද යන්නේ, කොහෙන්ද එන්නේ, මොකද සිහිය කියන්නෙත් හිතේම කොටසක්. හිතේ දියුණු කරන කුසල හැකියාවක්. 

 

හිත තුළ තියන හැකියාවන් තුන මොකක්ද ? “රාග” හැකියාව තියෙනවා, “ද්වේශ” හැකියාව තියෙනවා, “මෝහ” හැකියාව තියෙනවා.  එතකොට “තණ්හාව” කියන හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් හිතේ තියෙන හැකියාවන් තමයි ඔය ටික. දැන් අපි හදන්න පටන් ගන්නවා තවත් හැකියාවන් ගොඩක්. මොනවද ඒ? “ශ්‍රද්ධාව” කියන හැකියාව හදනවා. දැන් ශ්‍රද්ධාව කියන එක මනස තුළ මතකය තුළ හදනවා නම් මැරුණට පස්සේ ඉවර වෙන්න බැහැ. මතකයේ නැහැනේ. ඒක හැදෙන්නේ හිත තුළ. ඒක කුසලතාවයක්. හැකියාවක්. ශ්‍රද්ධාව හදනවා. මේ දහමට එන්න ”වීර්යය” හදනවා. අද එනකොට මට මහත්තයෙක් කියනවා ”මම නෙදර්ලන්තයේ ඉඳන් ආවේ. මම ගෙදරවත් තාම ගියේ නැහැ. මම මේක අද ඉවරවෙලා තමයි ගෙදර යන්නේ”. ඒ එතුමාගේ වීර්යය. සමහර අය ගාල්ල මාතර ඉඳන් මේ යක්කලට ඇවිල්ලා ඉන්නේ. නුවර ඉඳන් ඇවිත් ඉන්නේ. රට ඉඳන් ඇවිත් ඉන්නේ. එන්න සල්ලිත් නැහැ. එක පාර අවුරුද්දේ තියන ඔක්කොම නිවාඩු ටික අරන් ආවේ”. පොඩ්ඩක් හිතන්න වීර්යය. මේ මොකක්ද පෙන්නන්නේ?  එයාගේ “වීර්යය”.

 

වීර්යය මදි අයට, අද උදේ වැස්ස.  වෙසක් දවස නිසා, දන්සැල් නිසා traffic.  ශ්‍රද්ධාව හැදුනාම, ඒ මත වීර්යයද, වීර්ය මත සිහියද හැදෙනවා. කොහෙද හැදෙන්නේ සිත තුළ. මේ කුසල ශක්තිය, කුසල හැකියාව හිත තුළ, සංසාර ගත සිත තුළ, සසර පුරාම මේවා සකස් වීගෙන එන්න ඕනා. එතන එහෙම වීර්ය නැත්නම් බැහැ. ශ්‍රද්ධාව, වීර්යය, සිහිය,  සමාධිය හෙවත් නිවුණු මනස, ප්‍රඥාව, මේ පංච බලයන් කියලා දෙයක් අහලා තියෙනවා නේද? අපි හිතේ සසර පුරාවට ඉපදි, ඉපදී මැරි මැරී අකුසලයන් එහා පැත්තෙන් වැඩෙන අතර, ඔය පහ අපි  යම්තාක් දුරකට හරි හදපු වැඩපු නිසා තමයි අද මේ වෙලාවේ මෙතන, අද  දවසේ මේ මොහොත, මේ කාලය වෙන් කරන්න පුළුවන් වුනේ. ඒ වීර්යය එහෙම එකක් නෙවෙයි. ඔබ නොදන්න එකක් තියනවා. ලොකු වීර්යයක් තියනවා ඔබේ සිත ඇතුලේ. ඔබ අද පුටුවේ ඇවිල්ලා වාඩි වුණා කියන එක වෙනම වීර්යයක්. මේ වැඩසටහන මාසකට පස්සේ සංවිධානය කරපු තැනේ ඉදන් ලක්ෂ ගණන් ඒකට  වියදම් කරමින්, සංවිධානය කරමින්, දවල් රෑ නැතුව දුක් විදිමින්, බිම නිදා ගනිමින් වැඩ කරපු පිරිසක් ඒ වීර්යය පෙන්නුවා. ඔබේ වීර්යයේ අඩුවක්  තිබ්බොත් ඒ අඩුවට ඔක්සිජන් ටිකක් ගහලා ගෙන්නන්න තරම් ඒ කට්ටියගේ  වීර්යය බලවත්. එන්න විදිහක් නැහැ කිව්වොත්, වාහනයක් යවලා හරි ගෙන්නගන්න තරම් ඒ කට්ටියගේ වීර්යය බලවත්. මේක ඇත්ත කතාවක්.  කිසිම සම්පතක් අපිට තිබුනේ නැහැ.  මුදලුත් නැහැ. මෙතන සල්ලිකාර කවුරුත් නැහැ.  මේක පිළිවෙලකට කරන්න පුදුම දුකක් වින්දා. නුවර වැඩසටහනට 800 දෙනෙකුට එහා පැමිණෙන්න පුළුවන්. මතක තියාගන්න, මේ වැඩසටහන නෙමෙයි නුවර තියෙන්නේ. නුවර වෙන්නේ වෙනම වැඩසටහනක්. ඔය හැමෝම ඒකට එන්න ඕනා. 

 

මම මේ කතා කරන්නේ වීර්යය ගැන.  වීර්ය ගැන මම  වචන දෙක තුනක් කියන්නම්. මේක කිව්වේ නැත්නම්  පොඩි අඩුවක් වගේ. මේ මා දැන් අසුන් ගෙන සිටින ධර්මාසනය අද තමයි මම දැක්කේ. අද තමයි ඒක පූජා කලේ.  වීර්යය කොච්චරද කිව්වොත්, මේ පුටුවට ලක්ෂ අටක් ගිහිල්ලා. අම්මෙකුයි, දුවෙකුයි තමයි පුජා කළේ.  ඒ දුවට පොඩි ගැටලුවක් තියෙන දුවෙක්. ඇහෙන්නේ එහෙම නැහැ. ඒ අම්මයි, දුවයි  මේ ලක්ෂ අටක පුටුවක් හදලා පූජා කරනවා. ඔබ දන්නවද ඒ දෙන්නට ඉන්න තැනක්වත් නැහැ. මෙතන ඒ දෙන්නා ඇවිත් ඉන්නවා. ඔවුන් දැනටත් කුලියට ඉන්නේ.  ඉන්න ගෙයක් වත් නැහැ.  ඔය කට්ටිය හිතන්නේ මේක සැප පුටුවක් කියලද මට.  නැහැ මේක රත්වෙන ගිණි කබලක් වගේ. මේකේ වාඩි වෙලා කෙපරයක් කෙළියොත් හෙට හෙන ගහන්නේ මටනේ.

 

ඔබට මා මේ කියන්නේ මේ පුටව ලස්සනට තිබුනට, මේකේ තියෙන සැර ඔබ අඳුරන්නේ නැහැ. අර බිම සැපයි. පුටුවක් හදනවා කිව්වාම මම කිව්වා කමක් නැහැ කියලා. පුටුව මෙච්චර ලොකුයි කියලා දැනගන්නකොට මට පොඩි හීන් දාඩියකුත් දැම්මා පුටුවේ කතාවට.  ඇත්තටම ඒ මොකක්වත් නෙවෙයි පෙන්නුවේ, ඒ අයගේ වීර්යය. මේක වෙනම කතාවක්. මතක තියාගන්න. මේ ධර්ම මාර්ගික ගමන කියලා කියන්නේ වෙනම කතාවක්. ඒ අයට ඉන්න තැනක් නැහැ. ඒ කුලියට ඉන්න තැනින් මැයි මාසයේ වෙනකොට යන්න කියලා තියෙනවා. යන්න තැනකුත් තාම නැහැ.  හැබැයි ලක්ෂ අටක් වියදම් කරනවා  ධර්මාසනයට.  ඔය කතා මොකුත් මම දන්නේ නැහැ. ඇත්තටම දන්නවා නම් මම නතර කරනවා. ඒ නිසා අතීතයේත්, වර්තමානයේත්, අනාගතයේත් මේ සාසනය ගොඩනැගෙයිද ඒක ගොඩනැගෙන්නේ වීර්යයෙන්ම තමයි. මහා බෝසතා වීර්යය වඩලා පෙන්නුවා නුඹලාට මේක ගන්න ඕනා නම්,  නුඹලාත් පොඩ්ඩක් හරි වීර්යය කරන්න කියන දේ. ශ්‍රද්ධාව, වීර්යය කියන දේ ඕනා. වීර්යය තියෙන කෙනාට සිහිය කියන එක හැදෙනවා. මේක ශ්‍රද්ධාවයි වීර්යයි මත හිත තෙත් වෙලා හැදෙන එකක්. කනකොට සිහියෙන් කෑවට, මැල්ලුම් කපනකොට කල්පනාවෙන් කැපුවට,  අතු ගානකොට ඇවිදිනකොට  කකුල උස්සලා තිබ්බට සිහිය  එහෙම හැදෙන්නේ නැහැ.   එහෙනම් මේ ලෝකයේ ඔක්කොම දැන් සතිං උපට්ටපෙත්වා  වෙන්න ඕනා, මේ වඩන වැඩිල්ලේ හැටියට.  මම වග කියනවා මේ කියන දහමට.  සිහිය හැදෙන්න නම් ඔබේ හිතට ඕන තෙත් ගතියක්. තෙත් ගතිය නැතුව මේ සිහිය හැදෙන්නේ නැහැ. තෙත් ගතිය කියන එක තේරෙනවද? මෙලෙක් ගතියක්.  තවත් විදිහට කිව්වොත් සංසුන් නිවුණු භාවයක්. මම ඒක උදාහරණයක් විදියට  කියන්නම්. ඒක කියන්න තේරෙන්නේ නැහැ. මොකද ඒක ස්වභාවයනේ. ඔබ  පන්සලේ බෝ මළුවට  ගියපුවහම වැලිත් එක්ක පුංචි අමුතු සුවයක් දැනෙනවා නේද? පොඩි මොකක්ද හිතට  නිවුණු ගතියක් දැනෙනවා නේද? එන්න ඒ වගේ එකක්.  ඔබ කොහේ හරි ගියහම,  ටිකක් වෙලා වාඩි වෙලා ඉන්න කොට පොඩි තෙත් ගතියක් නිවිලා යන ගතියක් දැනිලා තියෙනවද? අන්න ඒ වගේ එකක්. 

 

ඔබ මෙතනින් ඇතුළට ආවට පස්සේ මේ ඉඳගෙන ඉන්න පරිසරය හදන්න මේ අය දැවැන්ත උත්සාහයක් ගත්තා. ඔබේ හිතේ තෙත් ගතිය නිර්මාණය කරන්න. ඒ කියන්නේ සැනසිලිදායක සුවදායක නිදහස් පරිසරයක් හදන්න. මෙන්න මේ හිතේ ඇතිවෙන මේ සැහැල්ලු ස්වභාවය, තෙත් ගතිය,  නිවුණු ස්වභාවය, අතහැරියාම දන් දුන්නාම දැනෙනවා. මට ඒක කියන්න තේරෙන්නේ නැහැ.  දන්දීමක් සිදු කළාම යම් දෙයක් හිතට දැනෙනවා, අපි ඒකට කියනවා පින් හිත කියලා. ඒකට වචනයක් දාන්න බැහැ. මම කියන්නේ ඒකට මොන වචන දැම්මත් වැරදි. ඒකේ අපේ ඇතුළට දැනෙන අමුතුම එකක්. මම හිතන්නේ දන් දීලා තියෙන අයට, යමක් කරපු අයට, වැඩ කරපු අයට මේ කියන එක දැනෙනවා. ඒ ස්වභාවය  කොහෙන් හරි එකතු වෙලා, ඒක තියෙනවා නම්, එක හරියට ගර්භාශක් වගේ, කුසක් වගේ. ඔන්න ඔතන ශ්‍රද්ධාය බීජං. ශ්‍රද්ධාව කියන එකත් එක්කම සිහිය කියන එකත් හැදෙනවා.  බුද්ධ බීජයක්, බුද්ධ අංකුරයක් ඒ නිසා පැලවෙනවා.  අපේ මහා බෝසතාණන් වහන්සේ මේ විකාර ඔක්කොම දැකලා “සචිත්ත පරියෝ දපනං” මේ හිත දමනය කරගෙන  ඒ දමනය කරපු හිත එක්ක තමයි ගියේ. ඡන්න ඇමතිත් සහ කන්තක අශ්වයා එක්ක. එතනත් ධර්මතාවයක් තියෙනවා. මම කිව්වානේ වීදුරුවෙත් ධර්මතාවයක්  තියෙනවා කියලා. ඒ දමනය කරපු අශ්වයෙක් එක්ක, දමනය කරපු හිතත් එක්ක මෙයා යනවා. ගිහින් සියලු ජරාවල් ගහගෙන යන මේ හිත කියන ගංගා නම්  නදියෙන් එළියට යනවා. හිත මේකෙන් එළියට දානවා. ඔබේ විකාර දැක්කා නම්, හිත දමනය කරගත්තා නම්, හිත සචිත්ත පරියෝ දපනං වුනා නම්, දමනය වුණු හිතින් ඒ පින් හිතින්, තෙත් හිතින් ඉන්න.  ඒ හිතට පැමිණෙන්න සියල්ලම අතහැරලා දාන්න මේ පැය දෙකට. සියල්ලම පැත්තකින් තියන්න.  සියල්ලම අතහැරලා දාලා, මේ පුටුවේ, මේ මොහොතේ සැහැල්ලුවෙන් ඉන්න. හරිම සැහැල්ලුවෙන්, හරිම සැහැල්ලෙන්, නිවී ඛසැනසිල්ලේ ඒ පින් හිතට එන්න. ඔය තෙත් හිතට ආවට පස්සේ එදා අපේ මහා බෝසතාගේ සතිය ඉහළට මතුවීගෙන එනවා. සතිය ඉහළට වැඩෙන එකක්.  

 

පැලයක් වැඩීගෙන එනකොට දෙපැත්තෙන් කොළ දෙකක් එනවනේ. ඒ වගේ සිහිය වැඩුනාම සිත පෙනෙනවා. හිත කාම සුකල්ලිකානුයෝගයට හෝ, අත්තකිලමතානුයෝගයට වැටෙනවා. මේ හිත එක්කෝ ඇලෙනවා නැත්නම් ගැටෙනවා. කාමයට, සැපට කොහේට හරි දෙපැත්තකට බට්ටා වැනෙනවා වගේ අන්තකට යනවා. අන්ත වලට පනිනවා. එක්කෝ නිවන් කියලා අන්තයට යනවා. එක්කෝ ලෞකික කියලා අන්තයකට යනවා.  එක්කෝ මැද කියලා අන්තයකට පනිනවා. මැද කියන්නේත් අන්තයක්. මැද කියලා හිතාගන්න එක අන්තයක්.  සිහියට මේ හිතේ අන්ත දෙක හොඳට පෙනෙනවා. හිත වැඩ කරනවා පෙනෙනවා අන්ත දෙකට. දෙපැත්තට බට්ටා වනෙනවා වගේ.  ඔහොම ඇස් දෙක පියාගෙන නිකන් ඉන්න.  මොකුත් කරන්න යන්න එපා.  නිකන් ඉන්න මෝඩයෝ වගේ. ඉන්න කොට බලන්න සුළං පාරක්  එනවා දැනෙනවද කියලා. හුස්ම ස්වභාවිකව එනවා. හුස්ම ගන්න යන්න එපා. ස්වභාවිකව ආපහු යනවා. ආවා කියලා හිතනකොට හිතක් පහළ වෙනවා. ගියා කියලා දැනෙනකොට හිතක් පහළ වෙනවා. සුළං පාරක් ආවා කියලා දැනුනේ හිතක් පහළ වුනු හින්දානේ. ගියා කියලා දැනුනේ හිතක් පහළ වුනු හින්දානනේ. මේ හිතක් එනවා යනවා හොඳට තේරෙනවා.  දැන් හොඳට සිහියෙන් ඉන්නවා. සතින් උපට්ටපෙත්වා.  සතිය උපද්දවාගෙන ඉන්නවා. සුළං පාරක් එනවා දැනෙනවා. සුළං පාරක් යනවා දැනෙනවා. හිතක් එනවා. හිතක් යනවා.  හොඳට බලාගෙන ඉන්න තියෙන්නේ. ඔය හිත් දෙක දිහා බලා ගත්තම ඇති. අන්ත දෙකකට වැටෙනවානේ. ඔය එන එකේ සහ යන එකේ හිත් දෙක දකින්න පුළුවන් නම් මැද දකිනවා. හිතේ මැද. එන එක දැනෙන්නෙත් නැහැ යන එක දැනෙන්නේත් නැහැ. මධ්‍යස්ථ ස්වභාවයක ඉන්නවා. එතන මැදුම් පිළිවෙත අහුවෙනවා. පින්වත්නි මැදුම් පිළිවෙත අල්ලපු තැනම මැදුම් පිළිවෙත දකින තැනම අන්ත දෙක අතහැරෙනවා වගේ අන්ත දෙක ගිලිහිලා යන්නේ යම් සේද, හිත අතුරුදහන් වෙලා යනවා. හිත නැහැ. හිත පිහිටපු තැනක් කියන්න බැහැ. හිත අතුරුදහන් වෙලා යනවා. හරියට මේක අහුවුණු කෙනෙකුට දැනෙනවා මෙතන හිතක් නැහැ වගේ. හිතක් නැති බව දැනෙනවා. ඒකේ එයාට කිසි තර්කයක් නැහැ. මැදුම් පිළිවෙත තළ හිතක් නැති බව දැනෙනවා. හිතක් නැහැ. අන්ත දෙකකුත් නැහැ. මොකුත් නැහැ. ශුන්‍යතාවයක් නැහැ. ශුන්‍යතාවය කියලා කියන එකත් හිතක්. හිතෙන් ගැලවෙනවා. හිත නිරුද්ධයි. 

 

මැදුම් පිළිවෙත ගැන දේශනා කිරීමෙන් අනතුරුව චතුරාර්ය ශක්තිය දේශනාවක් සිදුවෙනවා. චතුරාර්ය ශක්තිය දේශනාවක් කියන්නේ සම්මාසම්බුදුවරයෙක් සත්වයා ගොඩනැගිලා තියෙන චතුරාර්ය ශක්තීන්ට සමවැදී කරන දේශනාවක්. චතුරාර්ය ශක්තීන් කියන්නේ බුද්ධ ශක්තිය, විශ්ව ශක්තිය, කර්ම ශක්තිය, චිත්ත ශක්තිය කියන ශක්තීන් හතරයි. මේ චතුරාර්ය ශක්තිය දේශනාවක් උන්වහන්සේ විසින් විශාල පිරිසක් සම්බන්ධ වූ ස්ථානවකදි සිදුකළ ප්‍රථම අවස්ථාවයි. චතුරාර්ය ශක්තිය දේශනාවක් සැලසුම් කරලා සිදු කරන්න බෑ. මෙම දේශනාවට සම්බන්ධ වෙන සියලු දෙනාම සෝවාන් හෝ ඊට වඩා එහා ගිය අධ්‍යාත්මික ඵලයක පිහිටන බව බුද්ධ විෂයය තුළ පැවසෙනවා. චතුරාර්ය ශක්තිය දේශනාවක් සිදුවන විට බුදුවරයා ගේ කම්පන ක්ෂේත්‍රය වෙනස් වන ආකාරය පිළිබඳව යම් විදිහක දැනුමක් තියෙන අයට දැනගන්න පුළුවන්. බුදුවරයා කතා කරන හඬ පවා එතනදි වෙනස් වෙනවා. සම්මා සම්බුදුවරයෙක් පහළ වූ සමයකදී සත්වයා පියවරක් ඉහළට එසවෙන බව සමහරවිට ඔබ අසා ඇති. ඊට හේතුව මේ චතුරාර්ය ශක්තිය දේශනාවකදී සමස්ත සත්ත්වයා සමග බුදුවරයා සම්බන්ධ වීමයි. යක්කලදී සිදුවූ චතුරාර්ය ශක්තිය දේශනාව තුළදී මෙසේ දේශනා කරන ලදී.

 

බුද්ධි සම්පන්න කළ්‍යාණ මිත්‍රවරුනි, මේ විකාර වූ කැලිමඩලක් වු චිත්ත පරාසය, මගේ වෙලා තියෙන මේ විකාරය, සතියෙන් දැක සිත දමනය කොට, නිරුද්ධ කර, ඒ තුළ අති උත්තරීතර වු  සම්මා සම්බුද්ධත්වය ජීවමාන කරගත්ත, අපි  හැමෝගේම ගුරුදේව භාග්‍යවත් අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ මේ කෲර කටුක සංසාර සාගරයේ මේ විශාල ඔරුවක් රැගෙන ඇවිත් තිරිසන්, ප්‍රේත, යක්ෂ, කුම්බාන්ඩ බවට පත්වී සිටි සත්වයා මේකට ගොඩ කරවාගෙන මහා එතෙර වීමක් සිද්ධ වුණා. ඒ එතරවීම කොච්චරද කිව්වොත් අදටත්, අපේ මේ ලෝකයේ, ඒ මොහොත, ඒ අවස්ථාව සමරනවා.  එදා මේ ලෝකයට මහා මෛත්‍රීයක්, මහා නිහතමානීකමක් ගෙනාපු ඒ බුද්ධ දර්ශනය, ඒ දහම අද වෙද්දී විකාරත්වයට පත්වෙලා. කොච්චර විකාරත්වයට පත්වෙලාද කිව්වොත් සල්ලි වලට පින විකුණන්න පුලුවන්. සල්ලි දුන්නහම පින් දෙනවා. සල්ලි වලට පින් දෙන්න බැහැ. එහෙම එකක් නෙවෙයි. පිනත් ඔබ තුළමයි හැදෙන්නේ. ඒ ඔබේ ශ්‍රද්ධාවයි. ඒක දැකලා ඒක මත වැඩ කලොත් හරි. අද සමාජයේ සල්ලි දෙනකොට පින්. පින් කියලා සල්ලි එකතු කර කර  යනවා. ඒක බුදු දහමේ එකක් නෙවෙයි. පින ඔබට කොහොමත් හම්බවෙනවා, ඒක හිතන්න දෙයක් නැහැ. ප්‍රාර්ථනා කරන්න ඕනා නැහැ. ඒක නිකන්ම හම්බවෙනවා. ඒක මේ ස්වභාවදහමේ ධර්මයක්. නියාමයක්. මෙන්න මේ නිසා ඔබ කරන දේවල් ශ්‍රද්ධාව මත පිහිටලා කරන්න. වීර්යය මත පිහිටලා කරන්න. සිහිය මත, සමාධිය මත, ප්‍රඥාව මත කරන්න. ඒ හිත තුළ ඒ ධර්ම ටික හදාගන්න. බුදුරජාණන් වහන්සේ හිත තුළ පංච බල ධර්මයන් වඩන්න කියලා දෙනවා. ඒ පංචබල ධර්මයන් වඩන හිත් වල, ගොඩනගන හිත් වල ප්‍රඥාව පහළ වෙනවා. යථා අවබෝධය පහළ වෙනවා. මම ඔබෙන් අහනවා ඔබ කවුද කියලා. හැබැයි ඒකට අවබෝධයෙන් උත්තරයක් දෙන්න පුළුවන් නම් හොඳයි. ඔබ කවුද කියලා අවබෝධයෙන් උත්තරදෙන්න පුළුවන් නම් හොඳයි. අපි එතනට එන්න ඕනා.

 

මම ධර්ම දේශනාව පටන් ගත්තේ කොතනින්ද? මම ඇහුවා සත්‍යය කොහෙද තියෙන්නේ කියලා. සත්‍ය කොහෙද තියෙන්නේ? තමන් තුළ. තමන් තුළ කියලා කියන්නේ මොකක්ද කියලා මම තව විහිදුවලා පෙන්නුවා. තමන්ගේ වෙලා තියෙන හැම වපසරියකම තියෙනවා සත්‍යය.   ඇයි එහෙම කියන්නේ? මේක තමන්ගේ වෙලා තියෙන්නේ ඇයි ? එතන අසත්‍ය තියෙනවා. එහෙනම් අසත්‍ය තුළම තමයි,  ධර්මය උපද්දවන්න ඕනා. අඳුර තුළ තමයි ආලෝකය උපද්ද වන්නට ඕනා. ආලෝකයෙන්  ආලෝකය උපැද්දුවාට වැඩක් නැහැ. ඒ නිසා ඔබේ මේ චිත්ත ලෝකය තුළ, මේ මුලාව තුළ මේ ධර්මය, මේ විද්‍යාව උපද්ද වන්නට ඕනා. මට පුළුවන් වෙන්නේ මාර්ගය කියන්න විතරයි. හේතු සම්පාදනය කරන්න අවශ්‍ය ක්‍රමවේදය කියන්න පුළුවන්. බලය දෙන්න පුළුවන්. ඒ දේවල් කලාට මේකේ අවසාන දේ කරන්න වෙන්නේ ඔබට.  පින්වත්නි ඔබ මගේ වෙලා තියෙන වපසරිය දිහා බලන්න. half sheet කොලේ පවා, මේ ටිෂු එකේ පවා මගේ වෙලා තියෙන තැන ඔබට ඕනා කමටහන තියෙනවා. ඔබට ධර්මය දකින්න ඕනා බීජය තියෙනවා. එතන තමයි ඔබේ කමටහන ගැට ගහලා තියෙන තැන. ඔබට දුක, සතුට ,බැඳීම, වේදනාව දැනෙන තැන තමයි ඔබේ කමටහන  තියන තැන. ඒ තමයි කමටහන ගැට ගහලා තියෙන තැන.  එතනට නිහතමානිකම දාලා පුළුවන්ද, ප්‍රඥාව දාලා පුළුවන්ද, සිහිය දාලා පුළුවන්ද, වීර්යය දාලා පුළුවන්ද, ශ්‍රද්ධාව දාලා පුළුවන්ද, කොහොමද මේකෙන් ගැලවෙන්න පුළුවන් කියන කමටහන බලන්න. ඔබට ධර්මය දකින්න ඕනා නම් තමා තුළට හැරෙන්න ඕනා. මොකද මේ ධර්මය තියෙන්නේ, සත්‍යය තියෙන්නේ තමා තුළ. තමා තුළට හැරෙන්න ඕනා. ඔතන තමයි සත්‍ය තියෙන්නේ. ඒක ඇතුලට ගිහිල්ලා බැලුවහම ගැට ගැහිලා තියෙන තැන් පෙනේවි. කොහොමද මේක මට ගැට ගැහිලා තියෙන්නේ. අතනට ගහනකොට මෙතන රිදෙන්නේ කොහොමද කියලා බලන්න. සෙරප්පු  දෙකට ගැහුවහම තමන්ට රිදෙන්නේ කොහොමද කියලා බලන්න. වෙන කොහේහරි තැනකට ගැහුවහම මට රිදෙන්නේ කොහොමද කියලා බලන්න. ඔබ මෙතන පර්යේෂණ කළ යුතු නැද්ද? කල්පනා කරලා බලන්න. එහෙම කරන්න වෙනවා. එහෙනම් යමක් තමන්ගේ වෙලා තියෙන තැන, තමන් ගැටගැසිලා තියෙන තැන, පැටලිලා තියෙන තැන, එතිලා තියන තැන, ප්‍රශ්නය තියෙන තැන, ඔබේ කමටහනත්, විසඳුමත්, ධර්මතාවයත්, තුනම එතන තියෙනවා. ඇත්තටම ගෞතම බුදු හාමුදුරුවන්ගේ කාලයේ සිහිය වඩනවා කියලා වෙනම course එකක් තිබුනේ නැහැ. උන්වහන්සේගේ ඒ ගැන එක තැනකදී දේශනා කලා එච්චරයි. ඒකත් ඒ කෙනාට ඕන නිසා. බුදු හාමුදුරුවන්ගේ ධර්මය සතර සතිපට්ඨානය විතරක් නෙවෙයි. ඕනම දහම් කාරණයක් ගත්තොත් නිවන් දකින්න පුළුවන්.  මුහුදේ වතුර කොහෙන් ගත්තත් ලුණු රසයි. ඒ වගේ තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය.  බුදුරජාණන් වහන්සේ කමටහනක් දුන්නම, එක කමටහන කර ගත්තාම ඒ කමටහන තුළ ඔය කියන ශ්‍රද්ධාව, වීර්යය, සති, සමාධි, ප්‍රඥාව මේ සියල්ලම වැඩෙනවා. වඩන්න ඕන ඒවා නැහැ. ඔබ දැන් කෑම කන්නේ විටමින් A , විටමින් B, ව්ටමින් C  එහෙම කියලද කෑම කන්නේ? නැහැනේ. කෑම කන්නේ නිකන්ම. ඒ ටික හැදෙනවනේ. අන්න ඒ වගේ තමයි මේ කමටහනත්.  ඒකට තමයි සූත්‍රයක් කියන්නේ. ඒක වඩන්න පටන් ගත්ත කෙනාට හරි ලස්සනට  ධර්මය හම්බ වෙනවා. ඔබේ රාමුව ඔබ ගාවමයි තියෙන්නේ. මට මෙහෙම හිතෙන්නේ ඇයි කියලා බැලුවොත් රාමුව පේනවා. මට මේ විදියටම හිතෙන්නේ ඇයි? මම මොකක් හරි රාමුවකට හිර වෙලා නේද කියලා හිතෙනවා. මට මෙහෙම කල්පනා වෙන්නේ ඇයි? එහෙනම් මොකක් හරි මම හිරවෙලා නේද ඉන්නේ? මට මේ ධර්මය මහා සාගරම දකින්න බැරි ඇයි?  කොහේ හරි හිර වෙලා. නැත්නම් මේ ලෝකේ ධර්මය සියල්ලම දකින්න පුළුවන්. මේ ධර්මය පුංචි පුංචි කාරණා කිපයකින් හැදිලා තියෙන්නේ. ඒ නිසා ලෝකයත් ඔබමයි. හිතත් ඔබමයි. සසරත් ඔබමයි. භවයත් ඔබමයි. විපාකයත් ඔබමයි. රහතත් ඔබමයි. බුදුවරයත් ඔබමයි. ඒ විතරක් නෙවෙයි,  තිරිසනත්, බල්ලත් ඔබම තමයි වෙන්නේ. පටන් ගත්තෙත් එතනින්නේ. එතනත් වෙන්නේ ඔබ තමයි. එහෙනම් මේ විශ්වීය හිතේ ඔබ, ඔබේ කොටස වෙන් කරගන්න. ඔබ මනුෂ්‍යයෙක්. ඔබ බෝසතෙක්. ඔබ අරහතුන් වහන්සේ නමක්. ඔබ ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනෙක්. ඔබ බුදු වෙන්න ඉන්න කෙනෙක්. ඔබ පාරමී භූමියේ ඉන්න කෙනෙක්. ඔබ ඔබේ මාර්ගය දිශාව වෙන් කරගන්න. හඳුනාගන්න. ඔබ නිකන්ම නිකන් සත්වයෙක් නෙවෙයි. ඒ තැන ඔබට දෙන්න එපා. 

 

ඔබ දන්නවාද කැළේ රජා සිංහයා වුනේ කොහොමද කියලා. ඇයි අලියා කැළේ රජා වුනේ නැත්තේ?  අලියට හිතුනේ නැහැ තමන් රජා කියලා. හැබැයි සිංහයාට  හිතුනා වූ තමන් රජා කියලා. එහෙනම් ඉස්සෙල්ලා ඔබට හිතෙන්න ඕනද නැද්ද? ඉස්සෙල්ලා ඔබට හිතෙන්න ඕනා.  ඒ නිසා හිතන්න. ඔබම තමයි එතනට එන්න ඕනා. එතනට අරන්, ඔබේ ඉදිරියේ තියන බාධකය, ඔබ ගැටගැසිලා තියන හිර වෙලා තියෙන දේ, ඔබ උගුල්ලලා, හිමීට ඔබ විග්‍රහ කරලා ලිහන කොට, ඔබට මේ ධර්මය හොඳට විග්‍රහ වෙලා ලිහෙන්න පටන් ගන්නවා. ඒ නිසා බඹයක් පමණ වුණු ශරීරයේ ඔය හිතෙන් ශරීරයෙන් එළියට එන්න එපා. ඕක ඇතුලෙම බලන්න. ඔය හිත ගැනම බලන්න. ඔය ගැට ගැසිල්ලම බලන්න. මගේ වෙලා තියෙන තැන බලන්න. ඔතන ගැටේ ලිහාගන්න. ලිහලා ඔතන නිදහස් කරගන්න. ඔබේ ලෝකය නිදහස් උද්‍යානයක් බවට පත් කරගන්න. අපිත් එක්ක ඉන්න බහුතරයක්, අපි එතනට ගෙනැල්ලා තියෙනවා. ඒක අපි කරලා තියෙනවා. ඒකට අවශ්‍ය මාර්ග උපදේශනය, මාර්ගය, විද්‍යාව, ධර්මය, ඔබට පෙන්නලා දෙන එකයි මේ කරන්නේ.  

 

ඉතින් මෙන්න මේ හිත තුළ ඔබ ඔබේ ගමන යන්න පටන් ගන්න. ඔබ හිර වෙලා තියෙන තැන ඔබම කල්පනා කරන්න සිහියෙන්. මේ ලෝකයේ ලේසිම දේ තමයි රහත් වෙන එක. ඔබ දන්නවද? එහෙම කියනකොට ඒක sure නැහැ වගේද?. දැන් ඔබට ඉඳගන්න පුටුවක් ඕනා නේද? හැබැයි රහත් වෙන්න පුටුවක් ඕනද? රහත් වෙන්න මොනවද ඕනා? රහත් වෙන්න ඕනා මොකුත් ඕනා නැතිකම විතරයි. ඒ කියන්නේ රහත් වෙන්න මොකුත් ඕනා නැහැ. මොනවා හරි ඕනා වෙලා ඇතුලේ තියෙන එක තමයි ප්‍රශ්නේ. ඕවා සියල්ල අයින් කරලා දැම්මොත්, නිරුද්ධ කරලා දැම්මොත් හරි. ඉතින් ඇතුලේ ගැටගැසිලා තියෙන තැන් හිමීට ලිහාගන්න. එහෙම වුණා කියලා හෙට ඔබට ගෙදර ඉන්න බැරි වෙන්නේ නැහැ. එහෙම බාධකයක් වෙන්නේ නැහැ. එහෙම වුනා නම්, ඒ වෙලා තියෙන්නේ මානසිකව මොනවා හරි තැනකට හිර වෙලා. අනිවාර්යයෙන් ගුරුවරයා හම්බවෙන්න. ඔබේ ගුරුවරයා ඉන්නෙත් ඔබ ළඟ. ඔබේ ධර්මතාවය තියෙන්නෙත් ඔබ ළඟ. ඔබේ කමටහන තියෙන්නෙත් ඔබ ළඟ. ඔබේ විපාකය තියෙන්නෙත්, සසර තියෙන්නෙත් ඔබ ළඟ. රහත්බව, බුද්ධත්වය දක්වා ඒ අවශ්‍ය බෝධීන් තියෙන්නෙත් ඔබ ළඟ. අකුසල විපාක, කුසල විපාක ඒවා තියෙන්නෙත් ඔබ ළඟ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? හරිම ලේසි තැනකට ඔබව ගේන්නේ. මේ ලොකු කතාවක් කියලා පැය දෙකක් තිස්සේ.  ඔබ ගැටගැසිලා හිරවෙලා ඉන්න තැන දිහා බලන්න. කොක්ක වැටිලා තියෙන තැන හොඳට තේරුම් ගන්න. කල්පනා කරන්න.  කොක්ක වැටිලා තියන තැන දුරින් සිට බලන්න. ලගට කර ගන්න එපා. එදා බෝසතා දැක්ක මහා විකාර ගොඩේ ඔබව ගැටගැසිලා නේද ඉන්නේ? ඒක එහෙම ගලවන්න යන්න එපා. ඔය කොක්ක වැටිලා තියෙද්දි හිමිහිට තේරුම් ගන්න. හොඳට පරීක්ෂා කර බලන්න. ගුරුවරයෙක් සමග, මම මෙන්න මෙහෙම තැනක හිර වෙලා ඉන්නවා, මෙහෙම මට ප්‍රශ්න තියෙනවා මොකක්ද ඒකට කරන්න ඕනා කියන දේ  සාකච්ඡාවට ගන්න. එයා එතකොට ඒක අර්ථ, ධම්ම ලෙස විහරණය කරයි. එසේ නම් මේකෙන් ගැලවෙන්නට ඕනා විද්‍යාවත්, මාර්ගයත්, කමටහනත්, ධර්මතාවයත්, සූත්‍රයත්, මම ඔබ තුළින්ම ඔබට පෙන්නලා දුන්නා. 

 

ඒ නිසා ඔබේ තෙමගුල සමරලා යන්න මේ වෙසක් දිනයේ. මම ඔබට විශාල ධර්මස්කන්ධයක් දේශනා කරා. වීර්යය කියන එක අත්හරින්න එපා.

 

මේ වෙලාවේ මේ ධර්මය ශ්‍රවණය කරන්න එකතු වුනු කල්‍යාණ මිත්‍රයෝ ඔබට උදව් කරපු දායක වූ සහයෝගය දුන්නා වු දෙමව්පියෝ, ගුරුවරු සියලුම දෙනාට වහවහ සත්‍ය අවබෝධ වේවා !!!

 

මේ කෲර කටුක සසරින් එතෙර වෙන්නට හේතු වේවා !!!! 

 

ඔබට සදා ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.!!! 







 

Maithri Buddha

නුවර දේශනාව සහ බෝධිචිත්ත ප්‍රාතිහාර්යය

නුවර දේශනාවට දින දෙකකට පෙර මහාසත්ව බෝධි සත්ව බෝධිසත්වයන්...
Maithri Buddha

බෝධි චිත්ත ප්‍රාතිහාර්යය සඳහා පසුබිම සකස් වීම

2025 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ ශ්‍රි දළදා...
Maithri Buddha

මේ දක්වා පැමිණි ගමන් මාර්ගය - 1

අපට රජ වෙන්න නෙවෙයි ඕනා. මේ නිසා මේක විශ්වාස කරන්න, මේ තා...
Maithri Buddha

මිරැකල් - You are a miracle in Billiions of miracles

Miracle එකක් කියන්නේ, සම්මත විද්‍යාවට විස්තර කරන්න පු...

අධ්‍යාත්මය මනසින් දැකිය නොහැක.

ඔබේ ආවේණික ධර්ම මාර්ගය අවංකත්වය හෝ ඥාන දර්ශනය තුලින් සොයාගන්න....